ඝාතනවලට හේතුව තවමත් අභිරහසක්

යාපනය, ඩෙල්ෆ් දූපතේ ජැටියට ආසන්න මාවේලි ප්‍රදේශයේ නිවසක් තුළ සිදුකර තිබූ ඝාතනවලට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.

ඒ මහතා පැවසූවේ එම නිවසේ තිබූ කිසිවක් මංකොල්ල කෑමක් හෝ රැගෙනයාමක් නිරීක්ෂණය නොවන බවය.

යාපනය, ඩෙල්ෆ් දූපතේ නිවසක සිටි කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු අද අලුයම කපා කොටා ඝාතනය කර තිබුණි. 

පොලීසිය පැවසුවේ බරපතළ තුවාල ලැබූ තවත් කාන්තාවක් යාපනය රෝහලට ඇතුළත් කර ඇති බවය. 

යාපනය, ඩෙල්ෆ් දූපතේ ජැටියට ආසන්න මාවේලි ප්‍රදේශයේ නිවසක් තුළ මෙම සාහසික අපරාධය සිදුව තිබුණි.

ඝාතනයට ලක්ව තිබුණේ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් සහ කාන්තාවන් තිදෙනෙකි.

ඉන් එක් පිරිමි පුද්ගලයෙක් සාලයේදී ඝාතනය කර තිබුණු අතර අනෙක් පුද්ගලයා ඝාතනය කර තිබුණේ කාමරයක් තුළදීය.

එමෙන්ම තවත් කාන්තාවක් කාමරයක ඇඳ මතදී කපා කොටා ඝාතනය කර තිබුණි. 

සෙසු කාන්තාවන් දෙදෙනා පොලීසියට හමුව තිබුණේ, නිවසේ පිටත පරිශ්‍රයේදීය.

එමෙන්ම කැපුම් තුවාල සහිතව බරපතළ තත්ත්වයේ පසුවූ තවත් කාන්තාවක් යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි.

එම කාන්තාව විදේශ ගතව සිට මෙරටට පැමිණ ඇති බව දැනට අනාවරණය වී ඇත.

ඝාතනයට ලක්වූ සියලුදෙනා වැඩිහිටියන් වන අතර ඔවුන් ඥාතීන් බවට පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.

පොලිසිය සැක පළකරන්නේ ඊයේ රාත්‍රියේ හෝ අද උදෑසන අතර කාලයේ මෙම ඝාතන සිදුව ඇති බවටය.

Leave a Reply

Your email address will not be published.