අමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය

අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා සහ ඔහුගේ බිරිඳ පිළිබඳව අමෙරිකාව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරන බව  විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා මේ බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් මහත්මිය වෙත දන්වා තිබේ.

වයඹ පළාත් ආණ්ඩුකාර, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට සහ ඔහුගේ බිරිඳට සිය රටට ඇතුළු වීම වළක්වාලමින් අමෙරිකා එක්සත් ජනපදය තහනමක් පනවනු ලැබීය.

අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ, ඔහු නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කළ කාලය තුළ බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝනය කළ බවට එල්ල වූ චෝදනා විශ්වාසනීය ලෙස ඉදිරිපත්වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවය.

රාජ්‍ය දෙපාර්තමේන්තුව, විදේශ මෙහෙයුම් සහ අදාළ වැඩසටහන් 2023 විසර්ජන පනතේ 7031(c) වගන්තියට අනුව මෙම තීරණයට එළැඹි බව අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්ය. 

හිටපු නාවික හමුදාපතිවරයෙකු වන වසන්ත කරන්නාගොඩ මහතා එලෙස නම් කිරීම මගින් එක්සත් ජනපදය මානව හිමිකම් ආරක්ෂා කිරීම, මානව හිමිකම් කඩකරන්නන් සඳහා දණ්ඩමුක්තිය අවසන් කිරීම, වින්දිතයින් සහ දිවි ගලවා ගත් අයගේ දුක්වේදනා පිළිගැනීම සහ ශ්‍රී ලංකාවේ අපරාධකරුවන් සඳහා වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා වන කැපවීම යළි තහවුරු කරන බව අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකා රජය අතර ද්විපාර්ශ්වික සබඳතාව පදනම් වී ඇත්තේ වසර 75ක හවුල් ඉතිහාසය, සාරධර්ම සහ නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා වූ කැපවීම මත බවය.

ද්විපාර්ශ්වික සබඳතාව අඛණ්ඩව ගොඩනඟා ගන්නා අතරම, මානව හිමිකම් ප්‍රමුඛස්ථානයේ තබා ගන්නා ආරක්ෂක ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීම ඇතුළු යුක්තිය, වගවීම සහ ප්‍රතිසන්ධානය ඉදිරියට ගෙන යාම සඳහා මෙන්ම නැගී එන ආරක්ෂක ගැටලු විසඳීම උදෙසා ශ්‍රී ලංකාවට නිසි ලෙස සම්පත් හා පුහුණුව ඇති බව සහතික කරමින් ශ්‍රී ලංකා රජය සමඟ කටයුතු කිරීමට ඇමෙරිකාව කැපවී සිටින බවද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමෙන්තුව සිය නිවේදනය මඟින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published.