වන අලියාගේ පහරදීමෙන් එක්දරු පියා මරුට

ගල්ගමුව , මහගල්කඩවල , නෙළුම්ගම , පදිංචිව සිටි එක් දරු පියෙකු වල් අලි පහරදීමකින් මියගොස් ඇතැයි ගල්ගමුව පොලිසිය පවසයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ එගම පදිංචිව සිටි එම් එම් උපාලි නමැති පනස් හය හැවිරිදි පියෙකු බව පරීක්ෂණවලදි හඳුනා ගත් බවත් පොලිසිය සඳහන් කරයි .

මේ පියාගේ ගෙවත්තට ඊයේ (27) රාත්‍රී දහයට පමණ වල් අලි දෙදෙනකු පැමිණ ඇති බවත් , ඒ අලි ගෙහිමියන් විසින්  කෑ කෝ ගසාපලවා හරිනු  ලැබ ඇතැයි අනාවරණය වී තිබේ . 

එම  සිද්ධියෙන් පැය භාගයකට පමණ පසු නැවත නිවස අසළින් ම ශබ්ද ඇසීම නිසා මේ පියා විදුලි පන්දම දල්වාගෙන මිදුලට පැමිණ ඇති බව ද , ඒත් සමඟ ම වැසිකිළියට මුවා වි සිටි අලියෙකු ඉදිරියට පැමිණ ඔහුට පහරදී ඇති බව පොලිසිය සඳහන් කරයි .

මේ ගෙවත්තට මුල් අවස්ථාවේම වල් අලි තිදෙනෙකු පැමිණ ඇති බවත් , ඉන් එකෙකු වැසිකිළියට මුවා වි සිටීම නිසා ඔහුට ඒ අලියා නොපෙනෙන්නට ඇතැයි පොලිසිය පවසයි .එසෙ රැඳී සිටි අලියා ඔහුට පහරදී ඇති බව ද ඔවුහු කියති .

වල් අලි පහරදීම නිසා බරපතළ තුවාල ලැබු ඔහු ගල්ගමුව මූලික රෝහලට රැගෙන විත් ඇතත් ඒ වන විටත් මියගොස් සිට ඇතැයි පරීක්ෂණවලදි අනාවරණය වු බව පොලිසිය සඳහන් කරයි

Leave a Reply

Your email address will not be published.