රිටත් පුහුණුකරුත් නැතුව දිනූ තුෂේන්

කසකස්තානයේ පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ පිරිමි රිටි පැනීම ඉසව්වේ රිදී පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ තුෂේන් සිල්වා ඊයේ සමත් වුණි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් රිටි පැනීමේ ඉසව්වෙන් ආසියානු මට්ටමේ පදක්කමක් දිනාගත්තේ වසර 72කට පසුවය.

මීටර 4.70ක් වාර්තා කරමින් එම ඉසව්වේ රිදී පදක්කම හිමිකර ගත්තේය.

එම දක්ෂතාව රිටි පැනීමේ ඉසව්වේ නව යොවුන් ජාතික වාර්තාවක් ලෙසද සටහන් වුණි.

කෙසේ වෙතත් තුෂේන් සිල්වාට මෙම තරගාවලිය සඳහා ඔහු ශ්‍රී ලංකාවේදී පුහුණුවීම් සඳහා භාවිත කළ රිට රැගෙන යාමට හැකිව නොමැත.

ඊට හේතුව තුෂේන් ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම කසකස්තානය බලා ගමන්ගත් ගුවන් සේවයෙන් ඔහුගේ රිට රැගෙන යාම සඳහා රුපියල් ලක්ෂ 3ක මුදලක් ගෙවන ලෙස දැනුම් දී තිබීම හේතුවෙනි.

ශ්‍රී ලංකා ක්‍රීඩා බලධාරීන් ඔවුන්ට එම පිරිවැය දැරීමට නොහැකි බව දන්වා ඇති අතර ඒ සඳහා වැයවන මුදල තුෂාන්ගේ පෞද්ගලික මුදලින් ගෙවන ලෙස දන්වා ඇති බව වාර්තා වෙයි.

එතරම් මුදලක් වැය කිරීමට නොහැකි නිසා තරගය සඳහා රිටක් කසකස්තානයෙන් සොයාගත හැකිබව තහවුරු කර ගැනීමෙන් අනතුරුව තුෂේන් සිය පුහුණුවීම් සඳහා යොදාගත් රිට නොමැතිව කසකස්තානය වෙත පිටත්ව ගොස් තිබේ.

එහිදී කසකස්තාන ක්‍රීඩකයෙක්ගේ රිටක් යොදාගෙන තුෂේන් සිය ඉසව්වට සහභාගි වෙමින් රිදී පදක්කම හිමිකර ගත්තේය.

තුෂේන් ලබාගත් මෙම රිදී පදක්කම ශ්‍රී ලංකාවට රන් පදක්කමකටත් වඩා වටින්නේ ඔහු සිය පුහුණුවීම් සඳහා යොදාගත් රිටත් නොමැතිව සිය පුහුණුකරුවාත් නොමැතිව බාධක රැසක් මැද ගොස් මෙම පදක්කම හිමිකර ගැනීම හේතුවෙනි.

Leave a Reply

Your email address will not be published.