නව ත්‍රස්ත විරෝධී පනතට ජනතා අදහස් විමසයි

නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් යෝජනා සහ අදහස් ලබාගැනීමට අධිකරණ අමාත්‍යංශය තීරණය කර තිබේ.

දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන ඇතුළු ඕනෑම් පුද්ගලයෙකුට ඒ සඳහා අවස්ථාව හිමිවන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.

මැයි මස 30 වන දින දක්වා ඒ සඳහා කාලය ලබාදෙන අතර සිය යෝජනා අධිකරණ අමාත්‍යංශය වෙත ඉදිරිපත් කළ හැකි වේ.

එම යෝජනා සියල්ල සැලකිල්ලට ගනිමින් නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව ඉදිරි කටයුතු තීරණය කරන අතර ඊට පෙර සාකච්ඡා වට කිහිපයක් ද පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

සියලුදෙනාට පිළිගත හැකි ආකාරයට නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.

රජය විසින් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පසුගිය දා ගැසට් මඟින් ප්‍රකාශයට පත් කළ අතර ඊට ඇතැම් පාර්ශවවල විරෝධතා එල්ල වුණි.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තාවකාලිකව නතර කිරීමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පියවර ගනු ලැබීය.

Leave a Reply

Your email address will not be published.