ඉම්රාන්ගේ දෙවෙනි ඉනිම සහ තුර්කි ජනතා අපේක්ෂාව

ලෝක ක්‍රිකට් කුසලාන ජයග්‍රහණය සඳහා පාකිස්ථානයට නායකත්වය දුන් ජනප්‍රිය ක්‍රිකට් තරුවක් වූ ඉම්රාන් ඛාන්, අද වන විට ලෝක දේශපාලනය තුළ දැඩි අවධානයට, ලක්වන චරිතයක් බවට පත්ව තිබේ.

ක්‍රමානුකූලව පාකිස්ථානය ලෝක සිතියමේ සුවිශේෂි රටක් බවට පත්කරමින් සිටින පසුබිමක,සුපුරුදු කුමන්ත්‍රණයකින් ඔහුට බලය අහිමිවේ . පකිස්ථානයේ බහුතර ජනතා අභිලාෂයන්ට පටහැනිව යන විකෘති පාර්ලිමේන්තු තීන්දුවකින්. විකෘති තීන්දුව සඳහා වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පිල්මාරු පිටුපස අමෙරිකාව ප්‍රමුඛ බටහිර මෙහෙයුමක් සහ ඒ හා බැඳි හමුදා කුමන්ත්‍රණයක් ගැන පකිස්ථානු සමාජය තුළ ප්‍රබල මතයක් මතුව තිබීම දකින්නට තිබුණි.

පිල්මාරුව තුළින් නිර්මාණයවූ පාර්ලිමේන්තුවේ විකෘති ආණ්ඩුවට එරෙහිව දැවැන්ත විරෝධතා මාලාවක් ආරම්භ වෙනවා. පිල්මාරු මන්ත්‍රීවරුන්ට ජනතාව අතරට යන්නට අසීරු තත්වයක් ඇතිවේ.

බලය අහිමවීමත් සමග පසුබට නොවන ඉම්රාන් ඛාන් නැවතත් සංවිධානය වේ. හමුදා කුමන්ත්‍රණ තුනකින් එරට බලය අල්ලා ගැනීමට ජනරාල්වරුන් සමත්වූවත්, ඒ කිසිම අවස්ථාවක මහජනයා හමුදාවට එරෙහිව මේ තරම් ප්‍රබල ආකාරයෙන් වීදි බැස්මක් සිදුවී නොමැත. ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් හමුදාවේ මැදිහත්වීමට එරෙහිව අරගලයක් අරඹා තිබේ.

ඉස්ලාමාබාද්හි අධිකරණ භූමියකදී ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගන්නේ මේ පසුබිම තුළය. ප්‍රචණ්ඩත්වය රජකළ දින දෙකකින් පසුව,මැයි 11වන දින අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බව පාකිස්තානු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.

මේ වන විට සමස්ත පාකිස්තානය පුරාම ජනතාව ඔහුට දක්වන ආදරය පැහැදිලිව දැකිය හැකිව තිබේ. පාකිස්තානයේ අනාගතය වෙනුවෙන් ඔහුට ඇති දැක්ම මෙන්ම ඔහුගේ අවංක බව වටා ගොඩනැගුණු ප්‍රබල ප්‍රතිරූපය පිළිබඳව ලොකු විශ්වාසයක් ජනතාව අතර තිබේ.

සුපිරි බලවතුන්ගේ උවමනාවන්හි ඉත්තන් බවට පත්වෙමින් අනුගමනය කළ ක්‍රියා කලාපයන් නිසා පාකිස්තානයට ජීවිත වලින් මෙන්ම අන් සියළු ආකාරයන්ගෙනුත් විඳවන්නට සහ බැට කන්නට සිදුව තිබූණි. ඒ ප්‍රතිපත්තිවලට සමුදෙමින්, පාකිස්තානයේ අනාගතය උදෙසා පැහැදිලි දැක්මක් ඇති නිර්භීත සහ පිරිසිදු නායකත්වයක් ඔහු ලබාදුන්නේ ලොව අනෙකුත් රටවලටද ආදර්ශයක් දෙමිනි.

මුළු ලෝකයම වේගයෙන් මේ ඔප්පු කරමින් සිටින්නේ කුමක්ද? ජනතා අභිලාෂයන් තේරුම් ගන්නාවූත්,ඒ වෙනුවෙන් සද්භාවයෙන් පෙනී සිටින්නාවූත්, ජනතාවාදී නායකයන්ව ජනතාව ආදරයෙන් වැළඳගැනීම නොවේද? දිවි පරදුවට තබමින් ආරක්ෂා කරන බව නොවේද?

ප්‍රජාතන්ත්‍ර විරෝධය,කුමන්ත්‍රණ,දූෂණ,සූරාකෑම්, සමාජ අසාධාරණයන්,මර්දනයන් වැනි වියරු ක්‍රියාමාර්ග ජනතාව නොඉවසන බව ලෝකය පුරා සිදුවෙමින් පවතින සිදුවීම් අපට පෙන්වනවා අනාගත ලෝකය තුළ මෙවැනි ක්‍රියාදාමයනට ජනතා ආශිර්වාදය හිමි නොවීමේ ප්‍රවණතාවය ලෝකය හොඳින් දකිමින් සිටි.

ඉම්රාන් ඛාන් ගැන මේ සටහන ඔබට ලියන මේ මොහොතේ තුර්කියේ මැතිවරණ ප්‍රතිඵල හෙලිවෙමින් පවතිනවා.ලොව පුරා ප්‍රවෘත්ති බෙදාහරින බටහිර ප්‍රවෘත්ති ඒජන්සි විසින් දිගටම පළකර සිටි අනාවැකි, මේ ප්‍රතිඵල වලින් පුස්වැකි බවට පත්කර තිබේ. එමෙන්ම ඒ මූලාශ්‍ර වලින් නිකුත් කළ සමීක්ෂණ ප්‍රතිඵලද සාවද්‍යවී ඇත. බටහිර බලගතු ප්‍රවෘත්ති ඒකාධිකාරයන් සියල්ලම පළකර සිටියේ මේ චන්ද ප්‍රතිඵල වලින් සිටින ජනාධිපති එර්ඩොගාන් පරාජයට පත්වන බවයී.

බටහිර පළවන Economist සඟරාව තුර්කියේ මැතිවරණයට පෙර පල කළ කතුවැකියේ සඳහන් කර තිබූණා, “තුර්කි ජනපතිවරණය වසරේ ලොව වැදගත්ම සිද්ධිය” බවටය. එමෙන්ම “ජනපතිවරණය තුළින් තුර්කියේ අනාගතයට පමණක් නොව,ලොව ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගතයටත් තීරණාත්මක බලපෑමක් ඇති කරයී.” යනුවෙනි. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදයේ මුර බල්ලන් ලෙස පෙනී සිටින මෙම බලගතු මාධ්‍යයන්,ඊජිප්තුවේ ජනවරමින් පත්වූ ජනාධිපතිවරයෙකු බලයෙන් පහකර හමුදා පාලනයක් නිර්මාණය කරන විටත්,පලස්තීනයේ ජනතාවරමින් පත්වූ නව අගමැති ඇතුලු ආණ්ඩුවක් පෙරලා දමන විටත් ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී නොසිටීම ප්‍රහේලිකාවක්මය.

එර්ඩොගාන්ගේ පාලනයේ අවසන් කාලසීමාව තුළ ඔහුට මුහුණ දෙන්නට සිදුවූ අභියෝග අපමණය. මේ පසුබිම තුළ 2019 පැවැති ඉස්තාන්බූල් නගරාධිපති තේරීමේ චන්දයෙන් එර්ඩොගාන්ගේ පක්ෂ අපේක්ෂකයා පැරදී, විපක්ෂ අපේක්ෂක ඉමාම්ඔග්ලු නගරාධිපති ලෙස පත්වූයේ නිදහස් මැතිවරණ තුලිනි.

මෙවර ජනාධිපතිවරණයට එර්ඩොගාන් මුහුණු දුන්නේ තුර්කිය ආර්ථික අතින් ඉතාම අසීරු තත්වයකට මුහුණදී තිබූ වාතාවරණයක් මැදය. ඉහළ ගොස් ඇති ජීවන වියදම, තුර්කියේ මුදලේ අගය, උද්ධමනය, විරැකියාව ඉහළයාම,භූමිකම්පනයන්ගෙන් 50,000කට වැඩි පිරිසක් මිය යාම,150,000කට වැඩිපිරිසක් සරණාගතිය්නවීම,සිරියානු යුද්ධය හේතුවෙන් සරණාගතයන්වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් තුර්කිය විසින් භාරගැන්ම වැනි තත්වයන් තුල තුර්කි ජනතාව මුහුණ දී ඇත්තේ ඉතා දුෂ්කර තත්වයකටය.

මේ පසුබිම තුලද දසක දෙකක් තිස්සේ රටට නායකත්වය දෙන පැරණි මුහුණක්වූ එර්ඩෝගාන්ගේ පක්ෂය පාර්ලිමේන්තුව තුළ වැඩි බලය හිමි පක්ෂය බවට පත්ව ඇත. ජනපතිවරණ චන්දයෙන් 49.5%ක චන්ද ප්‍රමාණයක් ලබමින් පළමුවැන්නා වී ඇත.

යුරෝපයේ අන්ත දක්ෂිනාංශික පක්ෂ බලයේ සිටින රටවල් හේතුවෙන් යුරෝපා සංගමයට තුර්කිය එක්වීමට දොරටු වසා දැමීම දිගට සිදුවෙමින් පවතී.එර්ඩොගාන්ගේ පරාජය බටහිර ප්‍රාර්ථනා කිරීම සහ අනාවැකි පලකිරීම දිගටම සිදුවීම,තුර්කියේ ස්වාධීනත්වය,අනන්‍යතාව ගැන තුර්කි ජනතාවට සිතන්නට යොමුකරන තත්වයකී. ආර්ථික ප්‍රශ්නවලට කොටු නොවී තුර්කියට ලෝකය ඉදිරියේ අදීන අනාගතයක් උදාකරගනු වස් කොළ එළිය දල්වන තත්වයකට තුර්කි ජනතාවගේ තීන්දුව ප්‍රකාශවී ඇත.

ඉම්රාන් සහ එර්ඩොගාන් යනු මේ යුගයේ තම රටේත්,ජනතාවගේත්,ස්වාධීනත්වය,නිදහස,අභිමානය වෙනුවෙන් නිර්භීතව පෙනීසිටින ජනතාවාදී නායකයන්ය. දෙස්,විදෙස් අභියෝග,කුමන්ත්‍රණ,බාධා මධ්‍යයේ ජනතා ආශිර්වාදය ඔවුන් ලබන්නේ,ඒ රටවල ජනතාව,මාධ්‍ය මෙහෙයුම්වල කඩතුරා ඉරා දමමින් ගැඹුරු යථාර්ථයන් අවබෝධ කරගැන්මට සමත්ව සිටීම නිසාමය.

Leave a Reply

Your email address will not be published.