තැපෑලෙන් ආ කුෂ් 

ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම තැපැල් හුවමාරු අංශයේ නිලධාරීන් විසින් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.

තැපැල් හුවමාරුව හරහා එවන ලද පාර්සල් පරීක්ෂා කිරීම්වලදී ඒ තුළ තිබී “කුෂ්” නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3.475ක් මෙලෙස සොයාගෙන ඇත.

එහි මුළු වටිනාකම රුපියල් මිලියන 34.75 වන බවට ශ්‍රී ලංකා රේගුව පවසයි.

පසුගිය කාලය තුළදී අමෙරිකා එක්සත් ජනපදය සහ ඔස්ට්‍රේලියාව යන රටවල්වලින් තැපැල් මගින් බොරලැස්ගමුව, වැල්ලවත්ත, මිනුවන්ගොඩ, වැලිසර, නුවරඑළිය සහ තලංගම යන ප්‍රදේශවල ලිපිනයන් වෙත එලෙස පාර්සල් 10ක් පමණ එවා තිබුණි.

එම පාර්සල් ලබාගැනීමට ඒවායේ අයිතිකරුවන් ඉදිරිපත් නොවූ බැවින් පසුගිය 16 වනදා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සහ තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරියේ දී ඒවා රේගු නිලධාරීන් විසින් පරික්ෂා කර තිබේ.

එම පරීක්ෂා කිරීම්වලදී මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබුණි. 

වැඩිදුර විමර්ශන සඳහා මෙම මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදී ඇත.

Leave a Reply

Your email address will not be published.