විදේශගත ශ්‍රමිකයා වහලෙක් කරන්න එපා – සිංහල රාවයේ සභාපති

විදේශගත ශ්‍රමිකයා වහලෙක් බවට පත් නොකර ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන ලෙසත්, ඔවුන්ගේ ආරක්ෂාව තහවුරුකිරීම සදහා විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කරන ලෙසත් සිංහල රාවය සංවිධානයේ සභාපති අක්මීමන දයාරතන හිමියෝ ඉල්ලා සිටිනවා.

සිංහල රාවය, ලංකා ජනතා පක්ෂය සහ විදේශ ශ්‍රමිකයින්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය එක්ව නාරාහේන්පිට පිහිටි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් දැක්වූ අතර ඉන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අක්මීමන දයාරතන හිමියෝ මෙසේද සඳහන් කළා.

“දැන් රටට ආදායම ලැබෙන ප්‍රධානම මාර්ගය වෙන්නේ විදේශගත ශ්‍රමිකයින්ගෙන් ලැබෙන ආදායමයි. විදේශගත ශ්‍රමිකයා තමයි මේ රට ජීවත් කරවන්නේ. ශ්‍රමිකයෙක් විදේශ ගතවුනාට පස්සේ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ඒ රටේ තානාපති කාර්යාලවලට වගකීමක් තිබෙනවා. නමුත් රටේ ජනතාවගේ, විදේශ ගත ශ්‍රමිකයාට සාධාරණයක් ඉටු කරන්නේ නෑ.

තානාපති කාර්යාලයක් පිහිටුවන්නේ ඒ රටේ ජනතාවට කිසියම් විපතක් සිදුවෙනවා නම් ඒවාට විසඳුම් ලබාදීමටයි. හැබැයි ඕමාන තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා පැවැත්වුවත් එයට සාධාරණයක් ඉටු වෙලා නෑ.

අද විදේශගත ශ්‍රමිකයා වහලෙක් බවට පත් වෙලා. පැය 24ම සේවයේ පිහිටුවලා වැටුප් ලබා නොදී ඔවුන්ගේ අයිතිවාසිකම් නැති කරනවා. තමන්ගේ දුක කියාගන්න බැරිව ශ්‍රමිකයින් එල්ලිලා මැරෙනවා. හැබැයි රජයක් විදියට මේවාට ගත යුතු පියවරක් අරගෙන නෑ.

සුඛෝපභෝගී වාහනවල යනවා වගේම විදේශගත ශ්‍රමිකයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගකීම තිබෙන්නේ රජයට. ඒ සඳහා වැඩපිළිවෙලක් හදන්න.

ඇමැති මනුෂ නානායක්කාර මේ සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ග ගන්න සූදානම් බව පේනවා. ලංකාවේ කිසියම් කාන්තාවක් හෝ පිරිමියෙක් විදේශ රටකට යනවිට ඔවුන් ඩිජිටල්කරණයට ලක් කරන්න. ඔවුන්ට කිසියම් තොරතුරක් දැනුම් දෙන්න වුනාම, එස්.එම්.එස්. එකක් විදියට හරි, වොයිස් මැසේජ් එකක් විදියට එක අංකයකට යැව්වම ඒක කම්කරු අමාත්‍යාංශයට, විදේශ සේවා නියුක්ති කාර්යාංශයට, ඒජන්සියට, ජනාධිපතිතුමාට හැමෝටම යවන්න පුලුවන් ක්‍රමවේදයක් හදලා දෙන්න.

අපි ශ්‍රමිකයින් රට යවන්න එපා කියන්නේ නෑ. ඔවුන්ට අයිතිවාසිකම් දෙන්න. රක්ෂණ පහසුකම් දෙන්න. හරි රස්සාවක් දෙන්න. අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ කරගෙන තමන්ට මුහුණදෙන්න වෙන ගැටලු එකවර දැනුම් දෙන්න පුලුවන් ක්‍රමවේදයක් හදලා දෙන්න

ඒ වගේම රට රැකියා සදහා යන අයට රක්ෂණයක් හදුන්වා දෙන්න. ශ්‍රමිකයාගේ ආරක්ෂාව ගැන සොයා බලා, ආරක්ෂාව තහවුරු කරන්න. විදේශගත ශ්‍රමිකයින්ට සාධාරණයක් ඉටු කරන්න.

මනුෂ නානායක්කාර මහතාට කියන්නේ ඔබ යම් ක්‍රමවේදයක් අනුගමනය කරන බව පේනවා. ඒක නිසි ආකාරයෙන් සම්බන්ධීකරණය කරලා මේ ශ්‍රමිකයින්ට සාධාරණයක් ඉටු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ”

Leave a Reply

Your email address will not be published.