ඉන්දීය දුම්රිය අනතුරේ මරණ ගණන 300ට ආසන්න වෙයි

ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේ සිදුවූ මාරාන්තික දුම්රිය අනතුරෙන් පුද්ගලයින් 288දෙනෙකු මියගොස් තවත් 900කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.

අදාළ අනතුර සිදුවී තිබුණේ දුම්රිය 03ක් එකිනෙක ගැටීමෙනි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන් සිදුවූ පුද්ගල මරණ ගණන තවදුරටත් ඉහළ යාමේ අවධානමක් පවතින බවය.

ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේ බලසෝර් දිස්ත්‍රික්කයේදී මෙම මාරාන්තික දුම්රිය අනතුර සිදුවී තිබුණේ ඊයේ (02) රාත්‍රී 7ට පමණය.

ෂාලිමාර් සිට චෙන්නායි දක්වා ධාවනය කෙරෙන කොරමැන්ඩල් එක්ස්ප්‍රස් නම් දුම්රිය බලසෝර්හිදී පීලිපැනීමකට ලක්වීමෙන් එහි ප්‍රථම අනතුර සිදුවී තිබුණි.

දුම්රිය පීලිපැනීමත් සමග ඉන් ගැලවී ගිය මැදිරි ඊට සමාන්තරව දෙපසින් දිවෙන දුම්රිය මාර්ගය දෙක මතට වැටී තිබුණි.

ඉන් එක් මාර්ගයක ඒ වන විටත් නවතා තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටී තිබුණි.

ඒ සමගම යෙස්වාන්ත්පුර් සිට හොව්රා දක්වා ධාවනය වෙමින් පැවති හොව්රා සුපර්ෆාස්ට් එක්ස්ප්‍රස් දුම්රිය, අනෙක් දුම්රිය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිසාවේ සිට පැමිණ තිබූ අතර අධික වේගයෙන් පැමිණි එය අනතුරට ලක්වී තිබූ දුම්රිය මැදිරිවල ගැටී එහි දෙවන අනතුර සිදුවී තිබුණි.

මේ වනවිට අනතුරින් වාර්තා වී ඇති පුද්ගල මරණ ගණන 300 කට ආසන්නය.

මරණ ගණන තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බව ඉන්දීය බලධාරීන් පවසයි.

තවත් 900ක පිරිසක් අනතුරින් තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

විපතට පත් මගීන් මුදාගැනීමට එරට වැසියන් කටයුතුකළ ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

අනතුර සිදුවූ ස්ථානයට ගිලන් රථ 200කට වැඩි ප්‍රමාණයක් යොදවා තිබුණි.

තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීමට අමතර වෛද්‍යවරුන් 100ක්ද යොදවා ඇති බව සඳහන්ය.

මෙම බිහිසුණු දුම්රිය අනතුරත් සමග ප්‍රාන්තයට ශෝක දිනයක් නම් කර තිබේ.

එය මෙම සියවස තුළ ඉන්දියාවෙන් වාර්තා වූ දරුණුතම දුම්රිය අනතුර ලෙස වාර්තා වී ඇත.

එසේම මෙය 2004 වර්ෂයේ පැරෑලියේදී සිදුවූ දුම්රිය අනතුරින් පසු වාර්තා වූ ලොව දරුණුතම දුම්රිය අනතුර ද වෙයි.

විපතට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් මේ වනවිටත් අඛණ්ඩව ක්‍රියාත්මකය.

Leave a Reply

Your email address will not be published.