නාවික හමුදාව ජීවිත 38ක් බේරාගනී

ඩෙල්ෆ්ට් ජැටියේ පිවිසුම් දොරටුවේදී අනතුරට පත් ට්‍රෝලර් යාත්‍රාවක සිටි පුද්ගලයන් 38දෙනෙකු නාවික හමුදාව විසින්  බේරාගෙන තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව අද (07) උදෑසන සිදුකළ විශේෂ මෙහෙයුමකින් ඔවුන්ව බේරාගෙන තිබුණි.

ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ යාත්‍රාවේ තිබූ ගොඩනැගිලි ද්‍රව්‍ය තොගයක් මුහුදුබත්වීමට නොදී ගොඩ ගැනීමටත් කටයුතු කළ බවය. 

යාපනය, පුණ්ගුඩුතිව් දූපතේ පිහිටි කුරිකඩ්ඩුවාන් ජැටියේ සිට ‍ඩෙල්ෆ්ට් දූපත දක්වා පුද්ගලයන් තිස් අට දෙනෙකු සමඟ ගොඩනැගිලි ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රෝලර් යාත්‍රාවක් ‍ඩෙල්ෆ්ට් දූපතේ වරාය පිවිසුම් දොරටුව අසලදී මුහුදේ පැවති බාදිය තත්ත්වය හේතුවෙන් යාත්‍රාවේ පතුල මුහුදු පත්ලේ ගැටී යාත්‍රාව සිදුරුවී තිබේ.

එම යාත්‍රාව අනතුරකට පත්වී ඇති බවට උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනය වෙත තොරතුරක් ලැබිණි.

එම දැනුම් දීමට ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනයට අනුයුක්ත වෙරළබඩ මුර යාත්‍රා සහ කුඩා යාත්‍රා යොදාගනිමින් අනතුරට පත් යාත්‍රාව සහ එහි සිටි පුද්ගලයින් නිරුපද්‍රිතව බේරාගැනීමට කටයුතු කෙරිණි.     

‘කාලි අම්බාල් 2’ නම් එම යාත්‍රාව ‍ඩෙල්ෆ්ට්  දූපතේ වරාය පිවිසුම් දොරටුවෙහි අනතුරට පත්ව ගිලී ගියේ නම්, ‍ඩෙල්ෆ්ට්  දූපත වෙත සිදුකරනු ලබන සියලුම ගමනාගමන කටයුතු ඇනහිටීමටත් එහි පරිපාලනයට විශාල බලපෑමක් සිදුවීමටත් ඉඩ තිබුණු බව නාවික හමුදාව පැවසීය.

Leave a Reply

Your email address will not be published.