හරක් කටාගේ පෙත්සම ගැන අධිකරණය දුන් නියෝගය

නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාගේ රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේද? නැද්ද? යන තීන්දුව ජූලි 24 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නියෝග කළේය.

මේ වනවිට සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටී.

හරක් කටා සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත්කළ රිට් පෙත්සමක් සලකාබැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල මෙම නියෝගය කළේය.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා රඳවා ගැනීම සඳහා ලබාගෙන තිබෙන රැඳවුම් නියෝගය මුළුමනින්ම නීතියට පටහැනි බව පැවසීය.

එබැවින් එය තවදුරටත් දීර්ඝකිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

එම ඉල්ලීමට දැඩි විරෝධය පළකළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ෂනිල් කුලරත්න මහතා කියා සිටියේ මෙම පෙත්සම සම්පූර්ණයෙන්ම උපකල්පනයන් මත පදනම්ව ගොනුකර තිබෙන බවය.

මෙම පෙත්සම තුළ කිසිදු නීතිමය වලංගුභාවයක් නොමැති හෙයින් එය නිෂ්ප්‍රභ කරන ලෙස නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව අධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළේය.

Leave a Reply

Your email address will not be published.