පුංචි ඡන්දයේ නාම යෝජනා අවලංගු වේ?

පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවා ඇති නාමයෝජනා අවලංගු කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජයේ අවධානය යොමු වී ඇත.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ඉකුත් අඟහරුවාදා (06) පැවැති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමේ දී ද මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ.

දිගින් දිගටම කල්යමින් තිබෙන පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන ලකුණක් හෝ දක්නට නොලැබෙන බැවින් ,නාමයෝජනා අවලංගු කර මැතිවරණය කැඳවූ පසුව නැවත නාමයෝජනා කැඳවීම වඩාත් සුදුසු බව උපදේශක කාරක සභාවට සහභාගි වූ පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් ද පෙන්වා දී ඇත.

ඒ අනුව,පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවා ඇති නාමයෝජනා අවලංගු කිරීමේ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට කඩිනමින් ගෙන ඒමට දේශපාලන පක්ෂ නියෝජිතයන් එහිදි තීන්දුවකට පැමිණ ඇත.

පළාත් පාලන ආයතන 340 ක් සඳහා අපේක්ෂකයන් 8,711ක් තෝරා ගැනීම වෙනුවෙන් ඉකුත් අප්‍රේල් මාසයේදී නාමයෝජනා කැඳවනු ලැබූ අතර,ඒ සඳහා අපේක්ෂකයෝ 80,672 දෙනෙක් ඉදිරිපත්වී සිටිති.

මහ නගර සභා 24ක් ,නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 275 ක් සදහා මෙම පිරිස ඉදිරිපත් වී සිටිති.

Leave a Reply

Your email address will not be published.