ආතුරයාට මරු කැඳවූ තොවිලය

ශාන්තිකර්මයක් අතරතුර කාන්තාවක් අධික ලෙස රෝගී වී රෝහල්ගත කිරීමෙන් පසු මියයාමේ පුවතක් ලග්ගල ප්‍රදේශයෙන් වාර්තා වුණි.

මියගොස් ඇත්තේ මැණික් පතල් ව්‍යාපාරිකයෙකුගේ බිරිඳක්ය.

ශාන්තිකර්මය සිදුකළ පුද්ගලයා එම කාන්තාවට රාත්‍රී කාලය තුළදී පමණක් තැඹිලි ගෙඩි 21ක් පොවා, ඉන් රෝගී වූ පසු කහ දියර ද පොවා ඇති බව මූලික පොලිස් විමර්ශනවල දී හෙළිවී ඇත.

ලග්ගල පොලිස් වසමේ දාස්ගිරිය, හත්තොටඅමුණ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසේ ඉකුත් 16 වනදා ශාන්තිකර්මයක් පවත්වා තිබුණි.

ඒ 16 වැනිදා සවස සිට 17 වැනිදා අලුයම දක්වාය.

මැණික් පතල් කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයෙකු වන ඔහු ශාන්තිකර්මය සංවිධාන කර තිබුණේ යම් රෝගී තත්ත්වයකින් පෙළුණු සිය බිරිඳ වෙනුවෙන් සහ දරුඵල බලාපොරොත්තුවෙන් සිටි යුවළක් වෙනුවෙනි.

ශාන්තිකර්මය සිදුකර ඇත්තේ වයස අවුරුදු 25ක තරුණයෙක් වන අතර ඔහු එම ව්‍යාපාරිකයාගේ පතලක සේවකයෙකි.

රැය පුරා සිදුකළ ශාන්තිකර්මයෙන් පසු එම තරුණයා අදාළ කාන්තාවට සහ අනෙක් යුවළට, එක් අයෙකුට තැඹිලි ගෙඩි 21 බැගින් මතුරන ලද තැඹිලි ගෙඩි 63 ක් පැය කිහිපයක් පුරා පානය කිරීමට ලබා දී තිබේ.

එහිදී ව්‍යාපාරිකයගේ බිරිඳ රෝගී වී ඇති අතර පසුව ඇයට කහ දියර ද බීමට දී ඇති බව වාර්තා වේ.

කහ දියර පෙවීමත් සමඟ රෝගී තත්ත්වය උත්සන්න වූ කාන්තාව දාස්ගිරිය රෝහලට ඇතුළත් කර තිබේ.

වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල දිස්ත්‍රික් රෝහල වෙත මාරු කර යැවුණු කාන්තාව එහිදී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

මියගිය කාන්තාවගේ වයස අවුරුදු 48කි.

මේ පිළිබඳ අදහස් දැක්වු ශාන්තිකර්මය සිදුකළ නිවසේ රැඳී සිටි කාන්තාවක්,

“හයට විතර තුන්දෙනාටම පෙව්වා තැඹිලි 21 ගානේ. අර දෙන්නා 10.30ට විතර ගෙදර ගියා. මෙයාට තැඹිලි බීලා චුට්ටක් වෙලා යනකොට ආවා නිකං කලන්තයක් වගේ. හාන්සි කළාට පස්සේ නිකං සෙම වගේ ආවා. ඊට පස්සේ කිව්වා රෝහලට අරං යමු කියලා. ඒවට මොනවා දාලා තිබුණා ද කියලා අපි දන්නේ නෑ.”

ශාන්තිකර්මය සිදුකළ 25 හැවිරිදි තරුණයා සිද්ධිය සම්බන්ධයෙන් ලග්ගල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය දඹුල්ල දිස්ත්‍රික් රෝහලේදී  අද (18) සිදුකෙරුණි.

Leave a Reply

Your email address will not be published.