කොන්දොස්තර නොමැති බස්වල ආදායම ලක්ෂ 10කින් වැඩි වෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා නගර හතරකට ධාවනය කෙරෙන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල බස් රථ ඊයේ සිට කොන්දොස්තරවරයෙකු නොමැතිව ධාවනය කිරීමට කටයුතු සලසා තිබුණි.

ඒ එම බස් රථවල කොන්දොස්තරවරුන් මගීන්ට ටිකට්පත් ලබා නොදී මුදල් වංචා කිරීමේ සිද්ධි කිහිපයක් වාර්තා වීමත් සමඟය.

ඒ අනුව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් ගමන් ආරම්භ කෙරෙන ගාල්ල, මාතර ඇඹිලිපිටිය සහ තංගල්ල බස් රථවල මෙලෙස කොන්දොස්තරවරුන් නොමැතිව රියදුරු පමණක් බස් ධාවනය ආරම්භ කර තිබේ.

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී කොන්දොස්තරවරයෙකු විසින් මගීන්ගෙන් මුදල් අයකර ටිකට් පත් ලබාදෙන අතර පසුව රියදුරු පමණක් බස් රථය රැගෙන යයි.

කොන්දොස්තරවරු නොමැතිව එලෙස ධාවනය කළ පළමු දිනය වූ ඊයේ දිනයේම ශ්‍රී ලංගමට අයත් රුහුණු බස් සමාගමේ අධිවේගී මාර්ග බස් රථ ආදායම අන් දිනවලට වඩා රුපියල් ලක්ෂ 10 කින් ඉහළ ගොස් ඇති බවද වාර්තාවෙයි.

කෙසේවෙතත් අධිවේගී බස් රථ රියදුරන් පැවසුවේ රිය සහයකයෙකු නොමැතිව ගමන් කිරීම අපහසු බවය.

මේ අතර මේ අතර පිළියන්දල සිට කොට්ටාව සහ බොරැල්ල හරහා පිටකොටුව දක්වා ධාවනය කිරීමට සුඛෝපභෝගී බස් රථයක් යෙදවීමට විරෝධය පළ කරමින් කොට්ටාව පෞද්ගලික බස් රථ රියදුරන් ආරම්භ කළ වර්ජනය අද (20) දෙවැනි දිනටත් ක්‍රියාත්මකය.

ගල්කිස්ස – කොට්ටාව 255, කොට්ටාව – බොරැල්ල 174, පොල්ගස්ඕවිට – පිළියන්දල 342 සහ කොට්ටාව – පිළියන්දල 296 යන බස් මාර්ගවල පෞද්ගලික බස් රථ රියදුරන් මෙලෙස බස් ධාවනයෙන් ඉවත් වී සිටී.

ඔවුන් පවසන්නේ මෙම සුඛෝපභෝගී බස්රථය යෙදවීම තුළින් තම බස්රථවලට පැමිණෙන මගීන් ප්‍රමාණය සීමාවී ඇති බවය.

ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ අද සාමාන්‍ය පරිදි ධාවනය කෙරුණද ඒවායේ දක්නට ලැබුණේ දැඩි තදබදයකි.

මගීන්ට ගුණාත්මක සේවාවක් ලබාදීමේ අරමුණින් නීති රීතිවලට අනුකූලව ටෙන්ඩර් කැඳවා යෙදවූ මෙම සුඛෝපභෝගී බස්රථය ධාවනය කරවීම කිසිදු හේතුවක් මත නතර නොකරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඕ. ඩබ්ලිව්. ප්‍රසන්න සංජීව මහතා සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published.