පොලිසියට ප්‍රහාරයක් පහක් රෝහලට

මන්නාරම , පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පිහිටි නිවසක්  සෝදිසි කිරීමට ගිය උයිලන්කුලම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට පියකු සහ පුතකු ඇතුළු කණ්ඩායමක්  පොලු මුගුරුවලින් පහර දීම නිසා එම පොලිස් කණ්ඩායමේ සිටි නිලධාරීන් පස් දෙනකු තුවාල ලබා මන්නාරම දිසා රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ නිවසක පුද්ගලයකු රඳවා තබා ගෙන ඔහුට පහරදෙන බවට ලැබුණු තොරතුරක් මත උයිල්න්කුලම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජගත් කුමාර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් එම නිවස වටලා ඇත.

එම අවස්ථාවේ නිවසේ සිටි පියකු සහ පුතකු ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදු කළ පොලිස් නිලධාරීන්ට පොලු මුගුරුවලින් දිගට හරහට පහර දීම නිසා පොලිස් සැරයන්වරුන් දෙදෙනකු සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනකු තුවාල ලැබූ බව මන්නාරම ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

පොලිස් නිලධාරීන් පස් දෙනකුට පහර දී තුවාල සිදු කර පළාගිය පිය පුතු දෙදෙනා ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

Leave a Reply

Your email address will not be published.