විල්පත්තුවේ ගස් සිටුවන්න සල්ලි නොදුන් බදියුදීන්ට තවත් නඩුවක්

විල්පත්තු වනාන්තර කලාපය ආසන්නයේ පිහිටි මරයිච්චුකඩ්ඩි සහ කරඩික්කුලි වනාන්තර එළිපෙහෙළි කිරීමේ සිද්ධියට අදාළ රිට් පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනුකර ඇති පෙත්සමට අදාළ විරෝධතා ගොනුකිරීම සඳහා අභියාචනාධිකරණය විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට කල් ලබාදුන්නේය.

එම පෙත්සම අද (28) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී වගඋත්තරකාර රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා ද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එහිදී රිෂාඩ් බදියුදීන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම පෙත්සමට අදාළ විරෝධතා ගොනුකිරීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට අවසර දුන් අධිකරණය අදාළ විරෝධතා ජූලි මස 21 වනදාට පෙර ගොනුකරන ලෙසත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට නියම කළේය.

ඉන් පසුව පෙත්සම සලකා බැලීම සඳහා අගෝස්තු මස 28 වනදා කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published.