පොලීසිය සොයමින් සිටි සැකකරුවෙක් කොටුවෙයි

සොරකම් සහ කොල්ලකෑම් රැසකට අවශ්‍යව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්වී තිබේ.

සැකකරු සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයේදී හෙළිවී ඇත්තේ අධිකරණවල විභාගවෙමින් පවති නඩු 5කට වරෙන්තු ලැබ සිටින සැකකරු, කොල්ලකෑම් සහ සොරකම් රැසක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවෙකු බවත් ය.

ඇඹිලිපිටිය වන්ද්‍රිකා වැව ප්‍රදේශයේදී ඊයේ (29) උදෑසන ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගැනුණි.

ඒ අවස්ථාවේදී ඔහු සතුව හෙරොයින් මත්ද්‍රව්‍ය ද තිබී සොයාගෙන ඇත.

සැකකරුගෙන් අනාවරණය කරගත් තොරතුරු අනුව, කුට්ටිගල පොලිස් වසමේදී මෙම සැකකරු සමග රන් මාලයක් කොල්ලකෑමට සම්බන්ධ තවත් සැකකරුවෙකු එදින සවස අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ සැකකරුවන් දෙදෙනා 46 සහ 30 යන වයස්වල පසුවන මිද්දෙනිය ප්‍රදේශයේ පුද්ගලයින් බවය.

සැකකරු විසින් ඇඹිලිපිටිය, උඩවලව, කුට්ටිගල, ඌරුබොක්ක පොලිස් වසම්වල සිදුකර ඇති කොල්ලකෑම් සහ යතුරුපැදි සොරකම් රැසක් පිළිබඳව ද තොරතුරු අනාවරණය කර තිබේ.

එලෙස සොරකම් කරන ලද රන් මාල 04ක්, පෙන්ඩන්ට් 01ක්, යතුරුපැදියක් සහ මුදල් රුපියල් 1,179,000ක් ද පොලීසිය විසින් සිය භාරයට ගෙන ඇත.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Leave a Reply

Your email address will not be published.