අම්මා වෙනුවෙන් රන්දිමාල් අවසන් ගෞරව පුද කළ අයුරු

පිළිකා රෝගයක් හේතුවෙන් මියගිය සිය මවගේ දේහය මල්ශාලාවක තැන්පත් කර තිබියදී පාසලේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රීඩා කළ ඉසිපතන විද්‍යාලයේ රග්බි ක්‍රීඩකයෙකු පිළිබඳ මේ වනවිට රටම කතා වෙයි.

සිය රග්බි ගමනට වැඩි දායකත්වයක් ලබාදුන් සිය මව වෙනුවෙන් මේ එඩිතර තීරණය ගෙන තිබුණේ ඉසිපතන විද්‍යාලයේ හේෂාන් රන්දිමාල් සිසුවාය.

අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය අතර තරගය ඊයේ (30) පැවැත්වුණේ CR&FC ක්‍රීඩාංගණයේදීය.

මෙම තරගය ලකුණු 28ට 18ක් ලෙස ජයගැනීමට අපරාජිත ඉසිපතන විද්‍යාලය සමත්විය. 

ඉසිපතන කණ්ඩායම නියෝජනය කළ හේෂාන් මෙම තරගයට සහභාගී වුයේ මහමෙරක් තරම් දුකක් හිතේ දරාගෙනය.

රන්දිමාල් පාසල වෙනුවෙන් සහ සිය මව වෙනුවෙන් ඒ ගත්ත තීරණය ගැන අද හැමෝම කතා වෙමින් සිටී.

ඔහුගේ මව මෙම තරගය බලන්න ජීවත්වී නොහිටියත් රන්දිමාල් ඇය වෙනුවෙන් පිටියට පිවිසියේය.

ඊයේ (30) තරගයේදී ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කළේද හේෂාන් රන්දිමාල් විසිනි.

රන්දිමාල් මොන තරම් හිත හයිය ක්‍රීඩකයෙක්ද ?..

ඊයේ තරගයෙන් අනතුරුව ඉසිපතන කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූ මරදාන ශාන්ත ජෝසප් ක්‍රීඩකයින් රන්දිමාල්ගේ මවගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණියේ ක්‍රීඩාවේ සහෝදරත්වය සහ මනුසත්කම ලොවට මනාව කියා පාමින්ය.

පිටියේදී ප්‍රතිවාදීන් වුවත් ඉන් ඔබ්බට සියලු ක්‍රීඩකයින් සහෝදරයන් බව ඔප්පු කළ ශාන්ත ජෝශප් කණ්ඩායමටත් හිසනමා ආචාර කළ යුතුය.

පිළිකා රෝගයකින් පීඩා විඳි රන්දිමාල්ගේ මව ඉකුත් බ්‍රහස්පතින්දා මෙලොවින් සමුගත් අතර ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (02) සිදුකිරීමට නියමිතය.

රන්දිමාල්…, ඔබ අද කළ එම වීරක්‍රියාව සහ ඔබේ ධෛර්යවන්ත හිත දිහා බලාගෙන ඔබේ මැණීයන් කොහේ හෝ සිට සතුටුවෙනවා ඇති…

Leave a Reply

Your email address will not be published.