මන්ත්‍රි ධුරය යළි ඉල්ලා මුජිබර් අධිකරණයට

පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වූ සමගි ජන බලවේගය පක්ෂයේ මුජිබර්  රහුමාන් මහතා යළි එම මන්ත්‍රී ධුරය ලබා ගැනීමේ අරමුණින් අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වීමට තීරණය කර තිබේ.

විමසීමකදී ඔහු සදහන් කළේ, මැතිවරණය නොපවත්වන්නේ නම්, තමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය තමාට යළි හිමි විය යුතු බවයි.
 
ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තමා මේ වන විටත් සිය නීතිඥයන් සමඟ සාකච්ඡා කරමින් සිටින බව මුජිබර් රහුමාන් මහතා කියා සිටියි.

තමා මන්ත්‍රි ධුරයෙන් ඉවත් වූයේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයට තරග කිරීම සඳහා වන බවත් මේ වන විට පළාත් පාලන ඡන්දය දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවත් ඔහු සදහන් කළේය.
 
මෙම මැතිවරණයට තරග කිරීම සඳහා ඉදිරිපත් වූ රජයේ සේවකයන්ට ද ඔවුන්ගේ රැකියාව මෙන්ම වැටුප ද යළි ලබා දීමට අදාළ තීන්දු තීරණ ගෙන ඇති බව හිටපු මන්ත්‍රීවරයා පැවසීය.

එසේ නම් තමාට ද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සහ ඊට අදාළ වරප්‍රසාද ලබා දිය යුතු බව මුජිබර් රහුමාන් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ වෙතත් මුජිබර් රහුමාන් මහතා ඉල්ලා අස්වීමෙන් පසු ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ඒ.එච්.එම් ෆවුසි මහතාට හිමිවිය.

මේ අතර, රජය ජනතාවගේ ඡන්ද අයිතිය පිළිබද කිසිදු තැකීමක් සිදු නොකරමින් කටයුතු කරමින් සිටින බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහන හෙට්ටිආරච්චි මහතා අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published.