බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළ යාමක් මේ වනවිට දක්නට ලැබෙන අතර, මාස 03කින් ඉහළම අගයන් අද වාර්තා වන බව විදෙස් වාර්තා සඳහන් කළේය.

සෞදි අරාබිය විසින් ස්වේඡාවෙන් සිදුකරන නිෂ්පාදන කප්පාදුව මේ වසරේ සැප්තැම්බර් මාසය දක්වා දීර්ඝ කිරීමේ අවස්ථාවක් පැවතීම සහ ගෝලිය තෙල් සැපයුම තවදුරටත් සීමා වීම මෙලෙස තෙල් මිල ඉහළ යාමට හේතුවයි.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද ඩොලර් 84.54ක් ලෙස සටහන් වූ අතර, අමෙරිකානු WTI තෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 80.25ක් ලෙසය.

බ්‍රෙන්ට් සහ WIT යන ප්‍රධාන බොරතෙල් සන්නාම දෙකට මෙලෙස වාර්තා කරන්නේ පසුගිය අප්‍රේල් මාසයෙන් පසු ඉහළම අගයක් බවය.

වෙළෙඳපොළ විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ පසුගිය සති 05ක කාලය මුළුල්ලේම ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සතිපතා වර්ධනයන් වාර්තා කළ බවය.

ගෝලීය සැපයුම සීමා වීමට අමතරව තෙල් මිල ඉහළ යාමට බලපා ඇති තවත් කරුණක් වන්නේ අමෙරිකානු මහ බැංකුව නැත්නම් මධ්‍යම සංචිතය මගින් තවදුරටත් පොලී අනුපාත ඉහළ නොනංවනු ඇති බවට පළවන විශ්වාසයයි.

එමෙන්ම තෙල් මිල තවදුරටත් ඉහළයාමේ ප්‍රවණතාවක් පවතින බව විශ්ලේෂකයන්ගේ අදහස වී ඇත.

සෞදි අරාබිය විසින් ඔපෙක් සංවිධානය සමග එක්ව සිදුකරන නිෂ්පාදන කප්පාදුවට අමතරව, දිනකට තෙල් බැරල් මිලියනයක් ස්වෙච්ඡාවෙන් කපා හැර තිබේ.

එම නිෂ්පාදන කප්පාදුව අගෝස්තු සහ සැප්තැම්බර් මාස දක්වා දිගු කරනු ඇති බව විශ්වාසය පළ කෙරේ.

සෞදි අරාබියේ නිෂ්පාදන කප්පාදුව සහ ගෝලීය ඉල්ලුම කැපී පෙනෙන ලෙස ඉහළ යාම නිසා ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල ජුනි මාසය මැද භාගයේ සිට මේ දක්වා සියයට 18කින් පමණ වර්ධනය වී තිබේ.

එමෙන්ම ජුලි මාසය තුළ එය වසරකින් ඉහළම මාසික වර්ධනය වාර්තා කරනු ඇති බව අපේක්ෂා කෙරේ.

ගෝල්ඩ්මන් සැක්ස් ආයෝජන බැංකු සමූහය පුරෝකථනය කරන පරිදි බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වසරේ දෙසැම්බරයේදී ඩොලර් 86 දක්වාත් 2024 වසරේ දෙවැනි කාර්තුව වනවිට ඩොලර් 93 දක්වාත් ඉහළ යනු ඇත.

Leave a Reply

Your email address will not be published.