උපන්දින සාදයට ගිනි තැබූ සැකකරුවන් 5ක් අත්අඩංගුවට

වව්නියාව, තෝණිකල් ප්‍රදේශයේ උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබූ නිවසකට ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, ඊයේ (31) සවස මැදවෙත්‍යකුලම්, සිවපුරම්, පම්පෙමඩුව හා නෙළක්කුලම ප්‍රදේශයේ දී එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය.

වව්නියාව පොලිස් ස්ථානය හා වව්නියාව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් වැටලීමක් සිදුකර ඇති අතර, අපරාධයකට අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් එම සැකකරුවන් යතුරුපැදි 3ක් ද සමග අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 24, 27, 31 හා 34 යන වයස්වල පසුවන වව්නියාවේ පදිංචිකරුවන්ය.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතය.

පසුගිය ජූලි මස 23 වනදා පුංචි පුතෙකුගේ උපන්දින සාදයක් පැවති නිවසකට ඇතුළු වූ නාඳුනන පුද්ගලයින් පිරිසක් තියුණු ආයුධයකින් පහරදී නිවසට ගිනි තබා තිබුණි.

එහිදී නිවසෙ සිටි පුද්ගලයින් 10දෙනෙක් පිළිස්සුම් තුවාල ලැබු අතර රෝහල් ගතකර කළ අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්වුණි.

සිද්ධියෙන් තුවාල ලැබු වයස අවුරදු 02ක පිරිමි දරුවෙකු, අවුරුදු 07ක හා අවුරුදු 13ක ගැහැණු දරුවන් දෙදෙනෙකු, වයස අවුරුදු 19ත් 41ත් අතර පසුවන කාන්තාවන් 04 දෙනෙකු, වයස අවුරුදු 42ක පිරිමි පුද්ගලයකු වව්නියාව රෝහලේ තවමත් ප්‍රතිකාර ලබමින් සිටී.

නිවසට ගිනිතැබීමට හා නිවැසියන්ට පහරදීමට මුහුණු ආවරණය කරගත් කණ්ඩායමක් පැමිණෙන අයුරු දැක්වෙන CCTV දර්ශන පොලීසිය වෙත ලැබී තිබු අතර, ඒ ඔස්සේ සිදුකළ පරීක්ෂණ මඟින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published.