කිණිතුල්ලන් නිසා කුරුඳු ගොවීන් පීඩාවට

කුරුඳු වගාව ආශ්‍රිතව මේ දිනවල ව්‍යාප්ත වන කිණිතුල්ලන් විශේෂයක් හේතුවෙන් ගාල්ලේ කරන්දෙණිය සහ කොස්ගොඩ ආදී ප්‍රදේශවල කුරුඳු ගොවීන් දැඩි අපහසුතාවයට පත්වී තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණිය සහ කොස්ගොඩ ආදී ප්‍රදේශවල ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ කුරුඳු වගාවය.

මෙම ප්‍රදේශවල දිවිගෙවන මොණරුන් සහ ඌරන්ගේ ශරීරවල සිටින මෙම කිණිතුල්ලන් ඉවත් කරගැනීම සඳහා එම සතුන් සාමාන්‍යයෙන් සිදුකරන්නේ සිරුර කුරුඳු ගස්වල ඇතිල්ලීමය.

ඉන් එම කිණිතුල්ලන් කුරුඳු ගස් වෙත ව්‍යාප්ත වී ඇති අතර පසුව කුරුඳු කැපිමේදී ඔවුන් කුරුඳු ගොවීන්ගේ ශරීර වෙත ගොඩවන බව ප්‍රදේශවාසීන් පවසයි.

ඔවුන් මැසිවිලි නගන්නේ මිනිස් ශරීරයෙන් ලේ උරා බොන මෙම කිණිතුල්ලන් කන්වලටද ඇතුල් වන බවය.

කිණිතුල්ලන්ගෙන් සිදුවන ආසාදනවලට සහ එම සතුන් ඉවත් කරගැනීම සඳහා මෙම ප්‍රදේශවල ජනතාව බලපිටිය සහ ඌරගස්මංහන්දිය යන රෝහල් වෙත පැමිණීමත් සුලභ වී තිබේ.

එම නිසා කුරුඳු ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා මොණරා සහ ඌරු ගහණය පාලනයට මැදිහත් වන ලෙසය.

Leave a Reply

Your email address will not be published.