පෝරුව යටින් මතුවුණ ගලි වළ

බොල්ගොඩ ගඟට යාබදව බණ්ඩාරගම ප්‍රදේශයේදී පිහිටා ඇති හෝටලයක් මගින් රහසිගතව බොල්ගොඩ ගඟට මළ අපද්‍රව්‍ය මුදාහැර ඇතැයි අංශ කිහිපයක් මගින් සිදුකළ පරීක්ෂාවකදී අනාවරණය කරගෙන තිබේ.

අදාළ ගලි වළ සොයාගැනුණේ හෝටලයේ උත්සව ශාලාවේ මංගල පෝරුවට යටින් ඉදිකර තිබියදීය.

බණ්ඩාරගම බොල්ගොඩ ගඟට යාබදව පවත්වාගෙන යන එම හෝටලය මඟින් බොල්ගොඩ ගඟට මළ අපද්‍රව්‍ය බැහැර කරන බවට ප්‍රදේශවාසීන් අවස්ථා කිහිපයකදීම චෝදනා කළේය.

ඒ සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය, මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු බලධාරීන්ද දැනුම්වත්කර තිබූ පසුබිමක, අදාළ චෝදනාව මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් ඉදිරිපිටදී  තහවුරු කිරීමට ඉකුත් 13වනදා ප්‍රදේශවාසීන් පිරිසක් එහි ගොස් තිබුණි.

එහෙත්,එම කටයුත්ත අතුරතුර හදිසියේ රෝගී වූ ප්‍රදේශවාසියෙකු රෝහල්ගත කරන අතරතුර මියගියේය.

මෙම සිදුවීම වාර්තාවී දින කිහිපයකට පසුව බණ්ඩාරගම පොලිසිය මගින් මහජන පීඩාව යටතේ ලබාගත් අධිකරණ නියෝගයක් මත අදාළ හෝටලයේ විශේෂ පරීක්ෂාවක් සිදුකළේ ප්‍රදේශවාසීන්ගෙන් චෝදනාවෙහි සත්‍යතාවයක් ඇත්ද යන්න සොයාබැලීමේ අරමුණිනි.

මධ්‍යම පරිසර අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතනවල නිලධාරින්ද එක්ව සිටි එම පරීක්ෂාවේදී  පුරා පැය 7කට අධික කාලයක් හෝටල් පරිශ්‍රය තුළ හා හෝටල් භූමිය අවට කැණීම් සිදුකර ගඟට භූ ගතව අපද්‍රව්‍ය බැහැර කරන්නේද යන්න සනාථ කිරීමට හැකිව නොමැත.

නමුත් සවස් භාගයේදී ගම්වාසින්ගෙන් ලද තොරතුරකට අනුව අදාළ නිලධාරින් හෝටලයේ  උත්සව ශාලාවේ මංගල පෝරුව ස්ථානගතකර තිබූ තැනින් එය ඉවත්කිරීමේදී ටයිල් අතුරා  ආවරණය කර තිබූ රහසිගත ගලිවළ හමුවී තිබේ.

හෝටල් බලධාරින් විසින් ඒවන විටත් ගලි වළට වැලි පුරවා තිබී ඇති අතර, නිලධාරින් පැවසුවේ වැලි අතර තිබී හමුවූ වේළි නොතිබුණු තණකොළවලින් සනාථ වන්නේ ගම්වාසියා මිය යෑමෙන් අනතුරුව නැවතත් ප්‍රයෝජනට ගතහැකි අයුරින් තාවකාලිකව මෙය වසා දමා ඇති බවය.

අදාළ ගලි වළෙහි සිට නල මාර්ගයක් මගින් මළ අපද්‍රව්‍ය ගඟට බැහැර කර ඇතැයි එහිදී සිදුකළ වැඩිදුර පරීක්ෂාකිරීම් වලදී තහවුරුකර ගැනුණි.

හෝටලය සම්බන්ධයෙන් අනාවරණය වූ තොරතුරු  හෙට පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.