අදත් තද වැසි

දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයෙන් පෙන්වා දෙයි.

ඒ අනුව අද (29) දිනයේත් බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ද බලාපොරොත්තු වෙයි.

උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-45 ක පමණ තරමක තද සුළං ඇති වෙයි.

අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

මේ අතර පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 07ක හදුනාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සදහා නිකුත් කර තිබූ නාය යෑමේ අනතුරු ඇගවීම් තවදුරටත් බලාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.