මන්නා රමේෂ් ට රතු වරෙන්තු

දරුණු ගණයේ අපරාධවල නිරතවෙමින් සිටින මන්නා රමේෂ් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා රතු වරෙත්තු ලබාගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.

ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය සියලු කටයුතු පොලීසිය විසින් මේ වනවිටත් ක්‍රියාත්මක කර ඇත.

මන්නා රමේෂ් නමැති පාතාල නායකයා අවිස්සාවේල්ල ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන්ට මරණීය තර්ජන එල්ලකරමින් මිනීමැරුම්, කප්පම්ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු දරුණු ගණයේ අපරාධවල නිරතවෙමින් සිටී.

පොලීසිය පවසා ඇත්තේ මේ වනවිට මන්නා රමේෂ් ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් මෙම අපරාධවල නිරතවන බවය.

මන්නා රමේෂ් මේ වනවිට සිදුකර ඇති මිනිස් ඝාතන, කප්පම්ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ ගණනාවකට අදාළ සියලු තොරතුරු සහ සාක්‍ෂි පොලීසිය විසින් ලබාගෙන ඇති අතර ඒ සියල්ල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හරහා ජාත්‍යන්තර පොලීසිය වෙත යැවීමට කටයුතු කරමින් තිබේ.

අවිස්සාවේල්ල තල්දුව නගරයේදී ත්‍රිරෝදරථයක යමින් සිටි තරුණයන් දෙදෙනකු වෙඩිතබා ඝාතනය කර තවත් දෙදෙනකුට බරපතළ තුවාල සිදුකිරීම මන්නා රමේෂ්ගේ නියෝග මත සිදුකර තිබූ බව මේ වනවිට හෙළිවී ඇත.

මේ අතර අවිස්සාවේල්ල රත්නපුර ඇතුළු ප්‍රදේශ ගණනාවක ධනවත් මැණික් ව්‍යාපාරිකයන්ට මරණීය තර්ජන එල්ලකරමින් රුපියල් ලක්ෂ ගණනින් කප්පම් මුදල් ලබාගැනීම මන්නා රමේෂ් විසින් ජයටම කරගෙන ගොස් ඇති බවට පොලීසිය වෙත තොරතුරු ලැබී තිබේ.

මන්නා රමේෂ්ගේ කල්ලියේ ප්‍රධානම ගෝලයාවූ තල්දුවේ මහේෂ් නමැත්තා පොලිස් වෙඩිපහරින් මියයෑමෙන් පසු ඔහු එම මෙහෙයුමට සම්බන්ධවූ පොලිස් නිලධාරීන් සියලුදෙනාට මරණ තර්ජන එල්ලකර ඇති බව වාර්තා වෙයි.

අවිස්සාවේල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගෙන  ඔහු සහ පුත්‍රයා මරාදමන බවට තර්ජනය කර තිබූ බවද වාර්තා විය

Leave a Reply

Your email address will not be published.