උතුරු ගාසාහි රෝහලක් හිස්කරන්නැයි ඊශ්‍රායලයෙන් අනතුරු ඇඟවීමක්

දින 24ක් පුරා ගාසා තීරයට එල්ල වූ ප්‍රහාරවලින් මියගිය 8,000 ඉක්මවූ පිරිසෙන් 3,195 දෙනෙකුම ළමයින් බව SAVE THE CHILDREN රාජ්‍ය නොවන සංවිධානය අනාවරණ කර තිබේ.

ඔවුන්ට අනුව එය 2019 වසරේ සිට ඇති වූ යුද ගැටුම්වලදී වාර්ෂිකව මියගිය ළමයින් ගණනද ඉක්මවා යන අගයකි.

ඊට අමතරව ගාසාහි තවත් ළමයින් 1,000ක් පමණ අතුරුදන් බවට වාර්තාවන අතර ඔවුන්ගේ සිරුරු කඩාවැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවී ඇති බවට සැලකේ.

ජාත්‍යන්තර විරෝධය නොතකමින් ඊශ්‍රායලය ගාසා තීරය වෙත ගුවන් ප්‍රහාර තවත් තීව්‍ර කර ඇත්තේ භූමියෙන්ද ඒ වෙත හමුදා යොමුකරමිනි.

ඒ අනුව පසුගිය සිකුරාදා සිට ගාසා තුළ ඊශ්‍රායල මෙහෙයුම් සිදුවන්නේ යුද්ධ ටැංකිද යොදාගනිමිනි.

කලාපය වෙත තවත් හමුදා යොමුකරන බව ඊශ්‍රායල හමුදා ඊයේ (29) තහවුරු කළේය.

ගොඩබිම් ප්‍රහාරවලට සමගාමීව උතුරු ගාසාහි සිටින ජනතාව ඉවත්ව යන්නැයි යළිත් ඊශ්‍රායලය අවධාරණය කළේ ඊයේ දිනයේදීය.

ඒ අනුව උතුරු ගාසාහි අල් කුඩ්සු රෝහල හිස් කරන ලෙස දැනුම් දී තිබුණේ එසේ නොකළහොත් ඊට ප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවමිනි.

Leave a Reply

Your email address will not be published.