පරමාණු බලශක්ති ආයතනයේ නියෝජිතයින් ශ්‍රී ලංකාවට

මෙරට න්‍යෂ්ටික බලශක්ති නීතිය සකස්කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් ලබාදීම සඳහා අන්තර්ජාතික පරමාණු බලශක්ති ආයතනයේ නියොජිතයින් පිරිසක් අද (12) මෙරටට පැමිණ තිබේ.

ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලයේ සභාපති මහාචාර්ය එස්. ආර්. ඩී. රෝසා මහතා පවසන්නේ, ඔවුන් ශ්‍රී ලංකාවේ නව තාක්ෂණික බලශක්ති නීතිය කෙටුම්පත් කිරීම සඳහා සහය දක්වනු ඇති බවය. 

රුසියානු රාජ්‍ය පරමාණුක බලශක්ති සංස්ථාව හෙවත් ROSATOM (රොස්ආතම්) ආයතනය විසින් ශ්‍රී ලංකාව ද හවුල් කරගනිමින් මෙගාවොට් 300 ක ධාරිතාවකින් යුත් න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට යෝජනා වී ඇති බව වාර්තාවුණේ පසුගිය ජුනි මස 16 වැනිදාය.

සාන්ත පීටස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සමුළුව අමතමින් රුසියානු රාජ්‍ය පරමාණුක බලශක්ති සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරී ඇලෙක්ස් ලිඛචේෆ් පැවැසුවේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් සමග එක්ව න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීම සඳහා මේ වසරේ සිය ආයතනය සමග නීත්‍යනුකූලව ගිවිසුම්වලට එළඹීමට අවශ්‍ය බවය. 

රුසියානු රාජ්‍ය පරමාණුක බලශක්ති සංස්ථාව ප්‍රධාන විධායක නිලධාරී ඇලෙක්ස් ලිඛචේෆ්,

“රටවල්වලට හිමිවන බලශක්ති ධාරිතාව වර්ධනය කරගැනීමට ඇති හැකියාව හරහා රොසාතම් ආයතනයට බලශක්ති ක්ෂේත්‍රයේ නායකත්වය පවත්වා ගැනීම සහ ජාත්‍යන්තර ව්‍යාපෘති සංඛ්‍යාව වැඩිකර ගැනීමටද අවස්ථාව හිමිවනවා. ඒ අනුව මියන්මාරය, කිරිගිස්තානය සහ ශ්‍රී ලංකාව 2023දී න්‍යෂ්ටික බලය සම්බන්ධයෙන් රොසාතම් සමග නීතිමය ගිවිසුම්වලට එළඹිය යුතුයි.”

එවන් පසුබිමක් තුළ මෙරට විදුලි අවශ්‍යතාව සපුරාලීම සඳහා න්‍යෂ්ටික බලාගාරයක අවශ්‍යතාවය සම්බන්ධයෙන් කතාබහක්ද ඇතිවුණි.

ඒ් අනුව මෙරට න්‍යෂ්ටික බලශක්ති නීතිය සකස්කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් ලබාදීම සඳහා අන්තර්ජාතික පරමාණු බලශක්ති ආයතනයේ නීති කටයුතු කාර්යාලයේ න්‍යෂ්ටික සහ ගිවිසුම් නීති අංශයේ ප්‍රධානී ඇන්තනී වෙදෙරෝල් මහතා ඇතුළු නියෝජිතයින් පස්දෙනෙකු අද මෙරටට පැමිණ තිබුණි.

ඔවුන් ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලය සහ ශ්‍රී ලංකා පරමාණු බලශක්ති නියාමන අධිකාරිය සමඟ සාකච්ඡා කිරීමට නියමිත අතර ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලයේ සභාපති මහාචාර්ය එස්.ආර්.ඩී. රෝසා මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ නව තාක්ෂණික බලශක්ති නීතිය කෙටුම්පත් කිරීම සඳහා එම ආයතනය සහය දක්වනු ඇති බවය.

මේ අතර නිව්යෝක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේ පැවැති අන්තර්ජාතික පරමාණු බලශක්ති අධිකාරියේ වාර්තාව පිළිබඳ විවාදයේදී ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මහතා සඳහන් කළේ, සාමකාමී කටයුතු සඳහා න්‍යෂ්ටික බලශක්තිය සඳහා වූ තාක්ෂණික සහයෝගීතාව ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවලට විශේෂයෙන් වැදගත්වන බවය.

ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් සිල්වා,

“සභාපතිතුමනි, අන්තර්ජාතික න්‍යෂ්ටික බලශක්ති ආයතනය වාර්ෂික වාර්තාවේ දැක්වෙන පරිදි, න්‍යෂ්ටික ආරක්ෂාව හා සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීම මෙන්ම න්‍යෂ්ටික ආරක්ෂණයන් සහතික කිරීම තුළින් න්‍යෂ්ටික තාක්ෂණය සාමකාමි භාවිතයන් උදෙසා යොදාගැනීම වෙනුවෙන් එහි බලතල උපයෝගී කරගනිමින් සිදුකරන කැපී පෙනෙන ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාව ප්‍රසාදයෙන් සිහිපත් කරනවා. අන්තර්ජාතික පරමාණු බලශක්ති ආයතනයේ තාක්ෂණ සහයෝගිතා ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවලට තවදුරටත් වඩා වැදගත්වනවා.”

Leave a Reply

Your email address will not be published.