මත්ද්‍රව්‍ය ජාවාරමකින් ඉපයූ මුදල් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද රුපියල් කෝටි 05කට අධික මුදලක් සමඟ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු බණ්ඩාරගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.    

බැංකු ගිණුම් භාවිත කරමින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදල් හුවමාරු කරගැනීම සහ මත්ද්‍රව්‍ය ආශ්‍රිත ව සිදු කරනු ලබන වෙනත් ගනුදෙනු සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඒ අනුව බණ්ඩාරගම ප්‍රදේශයේ බැංකුවක ගිණුමකට ආසාමාන්‍ය ලෙස මුදල් බැර වන බවත් එම මුදල් කඩිනමින් විවිධ ප්‍රදේශවල ඇති ඒ.ටි.එම් යන්ත්‍ර මඟින් ලබාගන්නා බවටත් තොරතුරු වාර්තා වී තිබේ.

අදාළ ගිණුම් හිමියා පිළිබඳ තොරතුරු සොයාබැලීමේ දී ව්‍යාජ හැඳුනුම්පතක් සහ ව්‍යාජ ලිපිනයක් භාවිත කරමින් මෙම ගිණුම විවෘත කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

පසු ව මුදල් ලබාගැනීමට පැමිණි බණ්ඩාරගම ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක් වෙත පැමිණි අවස්ථාවේ දී සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී සැකකරු ගේ නිවසේ තිබී රුපියල් පන්කෝටි එකොලොස් ලක්ෂ දොළොස් දහස් නවසියයක මුදලක් සොයාගෙන ඇති බව පොලිස් මූලස්ථානය පැවසීය.

එම මුදල් මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන පුද්ගලයා ගේ බවට අනාවරණය වී ඇති අතර, ඊට අනුබල දුන් ප්‍රධාන ජාවාරම්කරු ගේ මව ද පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සහ සැකකාරිය පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.