අන්තර්ජාලය ඔස්සේ පුද්ගලයින් රවටා මුදල් ගැරූ තවත් ජාවාරමක් හසුවෙයි

සමාජ මාධ්‍ය ඔස්සේ කාන්තාවන් හා පිරිමි පුද්ගලයන් රවටා මුදල් වංචා කළ පුද්ගලයෙකු නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ බව හෙළිකරගෙන ඇත්තේ විශාල මුදල් ගනුදෙනු සිදුවූ ගිණුමක් පිළිබඳ ඇතිවූ සැකයක් මත පදනම්ව දියත් කළ විමර්ශනයක් අනුවය.

එක්තරා පෞද්ගලික බැංකුවක ගිණුමකින් සැක කටයුතු ලෙස මුදල් හුවමාරුවන බවට මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය මගින් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය වෙත දැනුම්දී ඇත.

අදාළ ගිණුම මගින් කෙටි කලක් තුළ රුපියල් මිලියන ගණනක මුදලක් හුවමාරු වී ඇති බව එම නිලධාරීන් අනාවරණ කරගෙන තිබේ.

ඒ අනුව විමර්ශන සිදුකළ අදාළ ඒකකය හඳුනාගෙන තිබුණේ, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට එම ගිණුම අයත් බවය.

අනතුරුව අදාළ ගිණුමට මුදල් බැර කළ පුද්ගලයෙකුගෙන් විමර්ශන නිලධාරින් ප්‍රකාශ සටහන්කරගෙන ඇත.

එහිදී ඔහු පවසා ඇත්තේ, TAGGED නැමැති අන්තර්ජාල ගිණුම හරහා තමන් කාන්තාවක් සමග සමීප සබඳතාවක් ගොඩනගා ගත් අතර අනතුරුව ඇයගේ ඉල්ලීම පරිදි අවස්ථා කිහිපයකදී බැංකු ගිණුමකට මුදල් බැරකළ බවය.

කෙසේවෙතත් ඇය කිසිඳු අවස්ථාවක හමුනොවීම නිසා එම සම්බන්ධය නැවැත් වූ බවත් ඔහු සඳහන් කර තිබේ.

එම ප්‍රකාශයට අනුව අදාළ බැංකු ගිණුම භාවිත කළ පුද්ගලයාව වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී විමර්ශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී විමර්ශන නිලධාරීන් හමුවේ පවසා ඇත්තේ, TAGGED නැමැති යෙදුම හරහා තමන් කාන්තාවක් බව අඟවමින් පිරිමි පුද්ගලයින්ගෙන් විශාල වශයෙන් මුදල් ලබාගත් බවය.

එමෙන්ම අදාළ යෙදුම හරහා තමන් පිරිමි පුද්ගලයෙකු ලෙස ද පෙනී සිටිමින් කාන්තාවන් රැසකගෙන් ද මුදල් ලබාගත් බව සැකකරු විමර්ශන නිලධාරීන් හමුවේ පාපොච්ඡාරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published.