වැල්ලම්පිටියේ හදිසි මෙහෙයුමකින් සැකකරුවන් 40ක් අත්අඩංගුවට

වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී මත්ද්‍රව්‍ය හා අවි ආයුධ ළඟ තබාගැනීම ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් කාන්තාවන් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයින් 40 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය, පොලිස් විශේෂ කාර්යය බළකාය සහ යුද හමුදාව එක් ව අද (26) අලුයම 03 සිට පෙරවරු 06 දක්වා වූ කාලය තුළ මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම සිදු කර ඇත.

ඒ සඳහා පොලිස් නිලධාරීන් 138 දෙනෙකු, විශේෂ කාර්ය බළකා නිලධාරීන් 18 දෙනෙකු හා යුද හමුදා නිලධාරීන් 200ක පිරිසක් සහභාගි වී තිබේ.

ඒ අනුව විවිධ සිද්ධීන්වලට සැක පිට පුද්ගලයින් 24 දෙනෙකු, හෙරොයින්, අයිස් හා ගංජා ඇතුළු නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි 10 දෙනෙකු සහ තහනම් පිහි සමඟ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

මෙහි දී ජංගම දුරකතන 12ක් සහ ත්‍රිරෝද රථයක් ද පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

සැකකරුවන් සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published.