ජනපති අනුරගේ 58 වැනි ජන්ම දිනය අදයි

මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා වන අනුර කුමාර දිසානායක මහතාගේ 58 වැනි ජන්ම දිනය අදට යෙදී තිබේ.

1968 නොවැම්බර් 24 වැනිදා මාතලේ දෙවහුවේ උපත ලැබූ අනුර කුමාර දිසානායක මහතාගේ දේශපාලන ගමන ආරම්භ වන්නේ ශිෂ්‍ය දේශපාලනය තුළිනි.

ප්‍රාථමික අධ්‍යාපනය තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයෙන් ආරම්භ කළ අනුර කුමාර දිසානායක මහතා, ද්විතීයික අධ්‍යාපනය තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයෙන් හැදෑරීය. පසුව කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව උසස් අධ්‍යාපනය හදාරා උපාධිධරයකු බවට පත්විය.

1987 වසරේදී සමාජවාදී ශිෂ්‍ය සංගමය සමඟ දේශපාලනයට පිවිසි ඔහු, 1997දී එහි ජාතික සංවිධායක ධුරයට පත්විය. 2000 වසරේදී පළමුවරට පාර්ලිමේන්තුවට පිවිසි අනුර කුමාර දිසානායක මහතා 2004 වසරේදී කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙසද කටයුතු කළේය.

2014 වසරේදී ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට පත්වූ ඔහු, 2019 වසරේදී ජාතික ජන බලවේගය ගොඩනැගීමේ පුරෝගාමියකු බවට පත්විය.

2019 ජනාධිපතිවරණයේදී ලබාගත් 3.16%ක ඡන්ද ප්‍රතිශතයේ සිට 2024 ජනාධිපතිවරණ ජයග්‍රහණය දක්වා පැමිණි ඔහුගේ දේශපාලන ගමන ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී පරිච්ඡේදයකි.

දශක ගණනාවක දේශපාලන අත්දැකීම්, අභියෝග, පරාජයන් සහ ජයග්‍රහණ හමුවේ 2024 සැප්තැම්බර් 22 වැනිදා මෙරට නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්විය.

ජනතාව ඔබ කෙරෙහි තැබූ බලාපොරොත්තු ඉටු කරමින්, රටට සුබදායක අනාගතයක් උදාකරලීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය හා ප්‍රඥාව නිරතුරුව ලැබේවායි ‘අද දෙරණ’ අපි ප්‍රාර්ථනා කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *