හෙරොයින් කිලෝග්‍රෑම් 107ක් විනාශ කෙරේ

2019 වසරේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සිදු කළ වැටලීමකින් අනතුරුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ භාරයට ගත් හෙරොයින් කිලෝග්‍රෑම් 107ක තොගයක් විනාශ කිරීම අද (04) සිදු කිරීමට නියමිතයි.

එම හෙරොයින් ‘ඉන්සී’ සිමෙන්ති සමාගමට අයත් පුත්තලම පාලවිය ප්‍රදේශයේ පිහිටි උඳුන් තුළ දී දහනය කිරීම සිදු වනු ඇත.

මෙම හෙරොයින් කිලෝග්‍රෑම් 107 දහනය කර විනාශ කිරීම සඳහා කොළඹ මහාධිකරණයේ සිට අද උදෑසන රැගෙන ගිය බව වාර්තා වේ.

කොළඹ මහාධිකරණයේ නඩු භාණ්ඩ ලෙස තිබූ මෙම හෙරොයින් තොගය ප්‍රවාහනය කරන අවස්ථාවට පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ද යොදවා තිබුණු බව සඳහන්ය.

මෙම හොරොයින් කිලෝග්‍රෑම් 107 පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ භාරයට පත්වන්නේ, 2019 වසරේ දී ය.

එම කාර්යාංශය සිදු කරන ලද වැටලීමක දී හෙරොයින් කිලෝග්‍රෑම් 107ක් සහ හෙරොයින් බවට සැක කෙරෙන කුඩු කිලෝ 01යි ග්‍රෑම් 104ක් සමඟ සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.

ඔවුන්ට කොළඹ මහාධිකරණයේ නඩු පවරා වරදකරුවන් වීමෙන් පසු ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී තිබේ.

එහි දී මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇත්තේ, එම හෙරොයින් තොගය විනාශ කරන ලෙසයි.

ඒ අනුව හෙරොයින් දහනය කර විනාශ කිරීම අද සිදු කිරීමට නියමිත ව ඇත.

මේ අවස්ථාවට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, රස පරීක්ෂක කාර්යාලය, මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවී දෙපාර්තමේන්තුව සහ අධිකරණ කාර්යාල මණ්ඩලය ඇතුළු ආයතන රැසක නිලධාරීන් සම්බන්ධ වී තිබේ.

Leave a Reply

Your email address will not be published.