ඊසානදිග මෝසම සක්‍රීය වීමත් සමග පවතින අධික වැසි හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට අහිතකර බලපෑම් ඇතිවී තිබේ.
ඇදහැලෙන තද වැසි සමග දින ගණනාවක් තිස්සේ තවමත් සෝමාවතිය පුදබිම ජලයෙන් යට වී තිබේ.
මොරගහකන්ද ජලාශයේ හා පරාක්‍රම සමුද්‍රයේ වාන්දොරටු විවෘත කිරීමත් මහවැලි ගඟ පිටාරගැලීමත් නිසා සෝමාවතිය පුදබිම මෙලෙස යටවී ඇත.
පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ සැහැල්ලු වාහන ධාවනය ඊයේ (29) පස්වරු 02 සිට නතර කිරීමට බලධාරීන් පියවර ගත් අතර මනම්පිටියේ සිට කදුරුවෙල දක්වා ගමන් කළ හැක්කේ දුම්රියෙන් පමණි.
මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු දෙකක් මේ වනවිට විවෘතව ඇති අතර ඉන් අඹන් ගඟට මුදාහැරනෙ ජල ධාරිතාව තත්ත්පරයට ඝනඅඩි 3,000කි.
මේ හේතුවෙන් අත්තනකඩවල, ජඹුරේවල, මඩුදමන ආදී ප්‍රදේශවල කුඹුරු අක්කර ගණනාවක් ජලයෙන් යට වී තිබේ.
මහවැලි අධිකාරිය සඳහන් කරන්නේ, අඹන් ගඟේ ජල ධාරිතාවය ඉහළ යමින් පවතින බැවින් ගඟ පරිහරණය කරන ජනතාවට ප්‍රවේසම් වන ලෙසයි.
මේ අතර ඉඟිනිමිටිය, රාජාංගණය සහ ගල්නෑව ජලාශ ද මේ වනවිට වාන් දමමින් පවතී.
ඊයේ (29) රාත්‍රියේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ බණ්ඩාරවෙල බිඳුණුවැව සිට මදුවැල්පතන මාර්ගයට ගසක් කඩාවැටී දුරකථන රැහැන්වලට හානි සිදුව තිබේ.
මේ අතර බදුල්ල වැලිමඩ ප්‍රධාන මාර්ගයේ හාලි ඇල අඹවක ප්‍රදේශයේදී ඊට ඉහළින් තිබූ පස් කණ්ඩියක් ඊයේ රාත්‍රියේ කඩාවැටී මාර්ගයේ එක් මංතීරුවක් සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත.
හාලිඇල, නෙළුදන්ඩ ගම්මානයට ගමන් කරන මාර්ගය මේ වනවිට සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ.
ඒ, එම මාර්ගයට ඉහළින් පිහිටි නිවසක පස් කන්දක් නාය යෑමෙනි.
මේ අතර ඌව පරණගම ඉලුක්වෙල ප්‍රදේශයේ නිවාස දෙකක් මතට පස්කඳු කඩාවැටීමෙන් හානි සිදුවී තිබේ.
නමුත්, නිවැසියන්ට කිසිදු අනතුරක් සිදුවී නැත.