සහල් ආනයනය අනවශ්‍ය බවට ඇමතිගෙන් ප්‍රකාශයක්

රටට අවශ්‍ය සහල් ප්‍රමාණය රට තුළම නිෂ්පාදනය කිරීමට මේ වන විටත් කටයුතු කරමින් සිටින බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ අනුව සහල් රටින් ගෙන්වීමට අවශ්‍යතාවක් නැතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

එවන් පසුබිමක සහල් සැකසුම් ක්‍රියාවලිය වෙනුවෙන් 1984 වර්ෂයේ ඉදිකර තිබූ වී අලෙවි මණ්ඩලය සතු ස්ථානයක් අද වන විට විනාශ මුඛයට යාමේ සිද්ධියක් වාර්තා වෙයි. 

රුපියල් කෝටි ගණනක වියදමක් දරමින් බුල්නෑව සහල් සැකසුම් මධ්‍යස්ථානය ආරම්භයෙන් පසු ඒ හරහා විශාල පිරිසකට රැකියා ද හිමි විය. 

අඛණ්ඩ ව වසර 05ක් පුරා සහල් සැකසුම් ක්‍රියාවලිය සිදු කළ මෙම ස්ථානය වසර ගණනාවක සිට කිසිදු ප්‍රයෝජනයක් ගෙන නොමැති ව වසා දමා ඇති බවට ප්‍රදේශවාසිහු චෝදනා කරති.
 
ගොඩනැගිලි පාලුවට යාමෙන් අභාවයට පත් වන මෙම ස්ථානය අද වන විට මැසි මදුරුවන් බෝ වන ස්ථානයක් මෙන්ම ගවයන්ගේ නවාතැන්පොළක් බවට පත් ව හමාර ය.  

රටේ ආහාර අර්බුද පවතින පසුබිමක මෙවැනි වටිනා සම්පතක් විනාශ මුඛයට යාම වැළැක්වීමට වගකිව යුතු බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව ‘අද දෙරණ’ සිහිපත් කරයි.

Leave a Reply

Your email address will not be published.