තෙලිජ්ජවිල වෙඩික්කරුවන් ආ යතුරුපැදිය සොයාගනී

මාතර තෙලිජ්ජවිල මංසන්ධියේ දුරකථන අලෙවිසැලක් තුළදී සිදුකළ වෙඩිතැබීමට සැකකරුවන් පැමිණි යතුරුපැදිය පොලීසිය සොයාගෙන තිබේ.

තිහගොඩ පොලිස් වසමේ නාඳුගල වේල්ල බෑවුම් ප්‍රදේශයක අත්හැර දමා ගොස් තිබියදී එම යතුරුපැදිය සොයාගෙන ඇත.

යතුරුපැදිය සොයාගන්නා අවස්ථාවේදී එහි අංක තහඩු සහ බැටරිය ගලවා ඉවත්කර තිබී ඇත.

මේ අතර යතුරුපැදිය හමුවී ඇති ස්ථානයේ තිබී සැකකරුවන් හැඳ සිටි බවට සැකකරෙන ඇඳුම් කිහිපයක් ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.

එසේම යතුරුපැදියේ ඇති ඇඟිලි සළකුණු භාවිත කර සැකකරුවන් හඳුනාගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

මාතර – තෙලිජ්ජවිල ප්‍රදේශයේ ඊයේ (20) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ, අපරාධකරුවන්ගේ ඉලක්කය වූ පුද්ගලයා නොවන බවට පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, අදාළ වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ, 22 හැවිරිදි තරුණයෙකු බවයි.

ඔහු වෙඩිතැබීම සිදු වූ දුරකථන උපාංග අලෙවිසලට පැමිණි අයෙකු වන අතර, අපරාධකරුවන්ගේ ඉලක්කය වී තිබූණේ එම අලෙවිසලේ හිමිකරු බවට සිදු කළ විමර්ශනවල දී අනාවරණය වූ බව නිහාල් තල්දූව මහතා පැවසීය.

මාතර – මාලිම්බඩ පොලිස් වසමේ තෙලිජ්ජවිල මංසන්ධියේ පිහිටි ජංගම දුරකථන උපාංග අලෙවිසලක දී පුද්ගලයෙකු ඉලක්ක කරගෙන වෙඩි තැබීමක් සිදු වුණේ ඊයේ (20) රාත්‍රී 08ට පමණය.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු එම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබිණි.

සිද්ධිය සීසීටීවී කැමරාවක ද සටහන් ව තිබිණි.

යතුරු පැදියෙන් පැමිණි දෙදෙනාගෙන් එක් පුද්ගලයෙකු දුරකථන උපාංග අලෙවි අලෙවිසලට ඇතුළු වී වෙඩිතැබීම සිදු කර ඇත.

ඝාතකයන්, වෙඩිතැබීමට පෙර ද දුරකථන උපාංග අලෙවිසලට පැමිණ ඡායාපිටපත් ලබා ගැනීමට අවශ්‍ය බවට පවසා ඇති අතර, එහි දී හිමිකරු පවසා ඇත්තේ අදාළ පහසුකම නොමැති බවයි.

ඒ අනුව ඉන් පිට ව යන සැකකරුවන් පසු ව යළි පැමිණ වෙඩිතැබීම සිදු කර තිබේ.

වෙඩිතැබීම සිදු වන අවස්ථාවේ දුරකථන උපාංග අලෙවිසලේ හිමිකරු පිටත රැඳී සිට ඇති අතර, අලෙවිසල තුළ සිට ඇත්තේ, හිමිකරුගේ මිතුරෙකු වන වෙනත් තරුණයෙකි.

වෙඩි වැදීමෙන් මිය ගියේ 22 හැවිරිදි අදාළ තරුණයාය.

මින්දික අලුත්ගමගේ නම් ඔහු දෙනිපිටිය ප්‍රදේශයේ පිදිංචිකරුවෙකු වන අතර, ඔහු සිය ජංගම දුරකථනය චාර්ජ් කරගැනීම සඳහා එම වෙළෙඳසැලට පැමිණ තිබිණි.

වෙඩි තැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවට පොලීසිය සැකකරන අතර, ඝාතනයට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරක් තහවුරු වී නොමැත.

Leave a Reply

Your email address will not be published.