චීනය යුද්ධයක් අරඹයි ද ?

ඉදිරි වසර කිහිපය තුළ තායිවාන දිවයින අත්පත් කරගැනීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් නියෝගයක් නිකුත් කරනු ඇති බවට අමෙරිකා එක්සත් ජනපදය සහ ඔවුන්ගේ මිතුරු රටවලට පවතින්නේ බලවත් සැකයකි.

දැන් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ක්‍රියාත්මක වන ඉහළ තාක්ෂණික දියුණුවක් සහිත සංවර්ධිත භූමියක් වන තායිවානය සිය රටට අයත් ප්‍රාන්තයක් ලෙස චීනය සලකයි.

ඇත්ත වශයෙන්ම තායිවානයේ ඉතිහාසය ගැන සලකා බැලීමේදී 1949 වසරේ මාඕසේතුං මහජන චීන රජය පිහිටුවද්දී චීන මව් භුමියේ සිටි දක්ෂිණාංශික රජයේ නායකයන් පළාගියේ තායිවානයට ය.

එහෙත් තායිවානය චීන ආධිපත්‍යයට නැවත පත්වීම අමෙරිකාව ඇතුළු බටහිර රටවල් අපේක්ෂා නොකරන තත්ත්වයකි.

මේ නිසා යම් හෙයකින් චීන හමුදා තායිවානය අත්පත් කරගැනීමට උත්සාහ කළහොත් ඊට මුහුණදිය හැකි ආකාරය පිළිබඳව අමෙරිකාව දැන් ඇගයීමක නිරත වන බව රොයිටර්ස් ප්‍රවෘත්ති සේවය අනාවරණය කරයි.

විශේෂයෙන් අමෙරිකාවේ සිට කිලෝමීටර් 12,240ක් ඈතින් පිහිටි තායිවානයට ලොජිස්ටික් (Logistic) නැත්නම් සේවා සැපයුම් සිදුකරන ආකාරය මෙහිදී ඔවුන් සමාලෝචනයට ලක්කර ඇත.

අමෙරිකා එක්සත් ජනපදය ඔස්ට්‍රේලියාව සමග වසර දෙකකට වරක් පවත්වන ඒකාබද්ධ යුධ අභ්‍යාසයේදී ඒ සඳහා යම් පෙරහුරුවක නිරතවී ඇති බවද වාර්තා වෙයි.

පසුගිය ගිම්හානයේ අවසන් වරට පැවති එම ඒකාබද්ධ යුධ අභ්‍යාසයේදී අමෙරිකානු හමුදා දියගොඩ දෙකේම භට පිරිස් ගොඩබැස්සවීම (ඇම්ෆිබියස් ලෑන්ඩින් – Amphibions Landing)ගොඩබිම් ප්‍රහාරක සහ ගුවන් මෙහෙයුම් සිදුකරද්දී එම අභ්‍යාස සැලකුනේ චීනයේ වර්ධනය වන යුද ශක්තියට මුහුණදීමට සුදානම්වීමක් ලෙසටය.

එවැනි යුද සුදානමකට වැදගත් වන පියවරක් වන ටැලිස්මන් සබ්රේ (Talisman Sabre) ලෙස නම් කෙරුණු එම ඒකාබද්ධ යුද අභ්‍යාසයේදී සිදුවී තිබුණි.

ඒ, තමයි අමෙරිකාව යුධෝපකරණ රැසක් ඔස්ට්‍රේලියාවේ තබා පැමිණීම ය.

එම යුධෝපකරණවලට වාහන 330ක් සහ යුද අවි ගබඩා ලෙස යොදාගත හැකි කන්ටේනර් 130ක් ද ඇතුළත් ය.

එම ද්‍රව්‍ය රඳවා තිබෙන්නේ ගිනිකොණදිග ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ බන්ඩියානා ප්‍රදේශයේ ය.

ඒකාබද්ධ යුධ අභ්‍යාසය අවසන් වීමෙන් පසු මෙම යුධෝපකරණ ඔස්ට්‍රේලියාවේ තබා පැමිණි බව අමෙරිකාව මීට පෙර ප්‍රකාශ කළේ නැත.

එහෙත් දැන් අනාවරණය වන පරිදි මෙම යුධෝපකරණ අවම වශයෙන් සෙබළුන් 500කට සේවා සැපයීමට ප්‍රමාණවත් ය.

අමෙරිකාව දැන් පවසන්නේ මෙම යුධෝපකරණ නැවත එහි සිදුකරන අභ්‍යාසයන් සඳහා හෝ ස්වාභාවික ආපදාවකදී හෝ නැත්නම් යුද්ධයකදී යොදාගත හැකි බවය.

මේ ආකාරයෙන් තවදුරටත් අවිආයුධ රැස්කර තැබීමට පියවර ගන්නා බව පැසිෆික් කලාපයේ අමෙරිකානු අණදෙන නිලධාරී යුද හමුදා ජෙනරාල් චාල්ස් ෆ්ලින් පවසා තිබේ.

මෙලෙස පැසිෆික් කලාපය තුළ අමෙරිකානු අවිආයුධ රඳවා තැබීම සඳහා රටවල් රැසක්ම එකඟවී ඇති බවත් ඔහු සඳහන් කර ඇත.

කෙසේ නමුත් එම පැසිෆික් කලාපීය රටවල් මොනවාද යන්න අමෙරිකානු හමුදා ජෙනරාල්වරයා හෙලිදරව් කර නොමැත.

රොයිටර්ස් පුවත්සේවය වෙත අදහස් දැක්වු වර්තමාන සහ හිටපු අමෙරිකානු හමුදා නිලධාරීන් වැඩිදෙනෙකු පවසා ඇත්තේ තායිවානය සම්බන්ධයෙන් ඇතිවන යුද්ධයකදී පැසිෆික් කලාපයේ අමෙරිකානු හමුදා සේවා සැපයුම් අවදානමකට ලක්වන බවය.

අමෙරිකානු යුද ගුවන්යානාවලට ජෙට් ඉන්ධන සැපයුම් අඩාල කිරීමටත්, එලෙස තෙල් සැපයුම් සිදුකරන නෞකාවලට ප්‍රහාර එල්ල කිරීමටත් චීනය උත්සාහ කරනු ඇති බව අමෙරිකාවේ අදහසය.

බෙහෙවින් සන්නද්ධ වූ අමෙරිකානු ප්‍රහාරක යානා බලඇනිය අක්‍රීය කිරීමටත්, මුහුද මතුපිට අමෙරිකානු යුද නෞකා ගිල්වා දැමීමටත් චීනය උත්සාහ කළ හැකි බව ඔවුන්ගේ අදහස වී තිබේ.

මේ නිසා කලාපය තුළ මධ්‍යස්ථාන රැසක සිය යුධෝපකරණ රඳවා තැබීමට අමෙරිකාව සැලසුම් කරයි.

මේ සම්බන්ධයෙන් රොයිටර්ස් ප්‍රවෘත්ති සේවය අමෙරිකානු පෙන්ටගනයෙන් විමසීමක් කර ඇත.

එහිදී ඔවුන් පවසා ඇත්තේ අමෙරිකානු හමුදා වඩාත් ජංගම හැකියාවන් සහිත මෙන්ම අවි සැපයුම් ප්‍රවාහනයකින් සන්නද්ධ හමුදාවක් බවට පත්කිරීම සඳහා මිතුරු රටවල් සමග එක්ව කටයුතු කරන බවය.

රොයිටර්ස් විශ්ලේෂණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ වොෂින්ටනයේ චීන තානාපති කාර්යාලය සඳහන්කර ඇත්තේ අමෙරිකාව, තායිවාන කලාපය තුළ හමුදා බලය ගොඩනැංවීම නතර කළ යුතු බවය.

එමෙන්ම තායිවාන සමුද්‍ර සන්ධියේ උණුසුම ඉහළ නැංවීම හේතුවන තත්ත්වයන් නිර්මාණය නොකරන ලෙසද චීන තානාපති කාර්යාල ප්‍රකාශකයා අමෙරිකාවෙන් ඉල්ලීමක් ද කර ඇත.

පැසිෆික් කලාපයේ අමෙරිකානු හමුදා බලය ගොඩනැංවීම සඳහා සහාය වන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව ප්‍රතිචාර දක්වා නොමැත.

එමෙන්ම අමෙරිකාවට චීනය සමග යුද්ධයකට පැටලීමේ අවදානම කෙතරම් ආසන්නද යන්න පිළිබඳව ඒකමතිකභාවයක් අමෙරිකානු බලධාරීන් තුළ නොමැත.

අමෙරිකාවේ යුද සේවා සැපයුම් සහ යුද සුදානම පිළිබඳව අධීක්ෂණය කරන කොංග්‍රස් අනුකමිටුවේ ප්‍රධානී රිපබ්ලිකන් කොංග්‍රස් සභික මයික් වෝල්ට්ස් පවසන්නේ එම අවදානම ඉදිරි වසර 5 ඇතුළත ඇතිවිය හැකි බව බුද්ධි අංශ පැවසුවත්, එය ඇතැම්විට වසර 10කින් 15කින් හෝ වසර 20ක් තුළ ඇති විය හැකි අවදානමක් බවය.

තායිවානය සම්බන්ධයෙන් ඇති විය හැකි අමෙරිකානු – චීන සන්නද්ධ අරගලයකදී ඉන්දු – පැසිෆික් කලාපය තුළ දෙපාර්ශ්වයට වැදගත්වන සැපයුම් සහ ක්‍රමෝපාය මධ්‍යස්ථානවල සිතියමක් ද රොයිටර්ස් පුවත් සේවය සකස් කර තිබේ.

එහි අමෙරිකාව සතුවන කලාපයේ ප්‍රධාන හමුදා කඳවුරු සහ සහායක පහසුකම් මධ්‍යස්ථාන දක්වා ඇති අතර චීනයේ හමුදා කඳවුරු සහායක සැපයුම් මධ්‍යස්ථාන මෙන්ම වරාය ව්‍යාපෘතිද ඇතුළත් වෙයි.

අමෙරිකානු හමුදාවල සේවා සැපයුම් හස්තය වන්නේ අමෙරිකානු ප්‍රවාහන විධානය නැත්නම් ට්‍රාන්ස්කොම් (Trans com) ආයතනයයි.

එමගින් රුසියාව සමග යුද්ධයේදී යුක්‍රේනයට ඩොලර් මිලියන 835ක් වටිනා යුධෝපකරණ සහ කාලතුවක්කු උණ්ඩවට මිලියන 2ක් සැපයීමට සමත් වුණි.

එහෙත් චීනයට සැතපුම් 100ක් පමණ ආසන්නයෙන් පිහිටි අමෙරිකාවට බෙහෙවින් දුරස්ථ තායිවානයට එම යුධ සැපයුම් සිදුකිරීම සාපේක්ෂව දුෂ්කර අභියෝගයකි.

අමෙරිකානු ප්‍රවාහන නෞකා සියල්ලට පාහේ වයස්ගත ඒවාවීම ඊට තවත් හේතුවකි.

එලෙස බර අවි රැගෙන යා හැකි අමෙරිකානු ප්‍රවාහන නෞකාවල වයස් සාමාන්‍යය අවුරුදු 44ක් වන අතර ඇතැම් නෞකා වසර 50කට වඩා වැඩි බ‍ව විශ්වාස කෙරෙයි.

මේ නිසා කලාපීය වශයෙන් යුද ශක්තිය ගොඩනැංවීම චීනය සමග යුද්ධයකදී අමෙරිකාවට අතිශයෙන් වැදගත් ය.

මේ අතර තායිවාන මැරීන් බලකාය ද සමුද්‍රීය අභ්‍යාසයක් සිදුකර තිබේ.

චීන ආක්‍රමණයකට එරෙහිව ආරක්ෂා වීමේ පූර්ව සූදානමක් ලෙස එම අභ්‍යාසය සිදුකර ඇති බව සඳහන් ය.

Leave a Reply

Your email address will not be published.