ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සමාගම් දෙකක් වශයෙන් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩල විසින් ගෙන තිබෙන තීරණය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා පොදු සේවකයින්ගේ වෘත්තීය සමිතියේ මහ ලේකම් උදයංග රත්න දිවාකර මහතා විසින් අද (01) අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇත.
නීතිඥ මංජුල බාලසූරිය මහතා මාර්ගයෙන් ගොනුකළ එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා, අමාත්‍ය මණ්ඩලය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ එහි අධ්යක්ෂ මණ්ඩලය ඇතුළු 56 දෙනෙකු නම් කර තිබේ.
පෙත්සම්කරු පවසන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සමාගම් දෙකකට වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණයක කර ඇති බව තමාට දැන ගැනීමට ලැබුණු බවය.
රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ඉකුත් අප්‍රේල් මස 25 වනදා නිකුත් කළ ලිපියක ද ඒ බව සඳහන් කර ඇති බවත් ඔහු පවසයි.
එම තීරණය සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගෙන නොමැති බවත් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමකින් තොරව මෙවැනි තීන්දුවක් ගැනීමට අමාත්‍ය මණ්ඩලයට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ලාභ ලබන ආයතනයක් බවත් එමගින් ජනතාවට විශාල සුබසිද්ධියක් සැලසෙන බවත් ඔහු පවසයි.


