බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ රහස් රැසක් හෙළිවෙයි

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට වෙඩික්කරුවන් පැමිණි ජීප් රථය වැඩ තහනමට ලක්වී සිටින උපපොලිස් පරීක්ෂකවරයෙකු මහනුවර ප්‍රදේශයෙන් රුපියල් ලක්ෂ 24කට මිලදී ගෙන ඇතැයි තොරතුරු අනාවරණවූ බව පොලීසිය පවසයි.

කෙසේ වෙතත් එම පුද්ගලයා දැනටමත් දිවයිනෙන් පළා ගොස් ඇතැයි සැක මතුවී තිබේ.

මේ අතර ඝාතනයට සම්බන්ධවූ වෙඩික්කරුවන් දෙදෙනාගෙන් අයෙක් කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් තහවුරු වී නොමැත.

අපේ ජනබල පක්ෂයේ සභාපති සමන් පෙරේරා හෙවත් රෝයල් බීච් සමන් ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකු පසුගිය 22වනදා බෙලිඅත්තේදී වෙඩි තබා ඝාතනය කෙරුණි.

ඒ සම්බන්ධයෙන් පාර්ශ්ව රැසක් විමර්ශන සිදුකළ අතර එහිදී අනාවරණ කරගෙන තිබුණේ ප්‍රහාරය සඳහා පැමිණි වෙඩික්කරුවන් දෙදෙනාගෙන් අයෙක් චම්පික ප්‍රසන්න කුමාර නම් නාවික හමුදාවේ විශ්‍රාමික සෙබළෙක් බවය.

ඔහු ඝාතනයෙන් අනතුරුව කඹුරුපිටිය බස්නැවතුම්පොළ අසලින් පෙජරෝ රථයෙන් බැස යන පුද්ගලයා බව විමර්ශන නිලධාරීන් පසුව අනාවරණ කරගත්තේය.

ඝාතනයෙන් අනතුරුව ඔහු විවිධ ප්‍රදේශවලට ගොස් ඇති අතර පසුගිය 29 වනදා උදෑසන 8.11ට කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන නිලධාරීන්ගේ පරීක්ෂාවෙන් අනතුරුව අබුඩාබි රාජ්‍ය බලා පිටව ගොස් ඇති බව තහවුරු කරගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ඔහු විදෙස්ගතවී ඇත්තේ තමන්ගේ සැබෑ විස්තර ඇතුළත් විදෙස්ගමන් බලපත්‍රය භාවිත කර බවද වාර්තා වෙයි.

පොලීසිය පැවසුවේ, ඊට අදාළ දර්ශන සීසීටීවී කැමරාවල ද සටහන්වී තිබෙන බවය.

මේ අතර ඝාතකයක් පැමිණි පෙජරෝ රථය නුවරින් රුපියල් ලක්ෂ 24ක පමණ මුදලකට මිලදීගෙන ඇත්තේ මංකොල්ලයක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී මේ වනවිට වැඩ තහනමට ලක්වී සිටින උපපොලිස් පරීක්ෂකවරයෙකුගේ නමින් බව පොලීසිය සඳහන් කරයි.

ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කලක් සේවය කර අනතුරුව ඇමති ආරක්ෂක අංශයේද සේවය කර ඇති බව සඳහන් ය.

මහේෂ් සිල්වා නම් අදාළ පුද්ගලයා කොල්ලුපිටියේ පිහිටි මූල්‍ය ආයතනයකද සේවය කර ඇති අතර ඔහු ඌරගහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු මේ වනවිට සැඟව සිටින අතර ආරක්ෂක අංශ සැක කරන්නේ ඔහු මුහුදු මාර්ගයෙන් විදෙස් රටකට පළාගොස් ඇති බවය.

මේ අතර අදාළ පෙජරෝ රථය ඝාතනය වූ දින පදවා ඇත්තේ යුද හමුදාවෙන් ඉවත් කරන ලද හිටපු මේජර්වරයෙක් බවද පොලීසිය සඳහන් කරයි.

එම පුද්ගලයාත් මේ වනවිට අතුරුදන් ය.

කෙසේවෙතත් ඝාතනය සඳහා පැමිණි වෙඩික්කරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්න්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.

Leave a Reply

Your email address will not be published.