රටම කතාවෙන UPI 

ඉන්දියානු ඒකාබද්ධ ගෙවීම් ක්‍රියාවලිය හෙවත් UPI ක්‍රමවේදය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙරටට හඳුන්වාදීම අද සිදුකෙරුණි.

මෙම ක්‍රමය යටතේ ඉන්දීය ගනුදෙනුකරුවන් සමඟ භෞතිකව මුදල් භාවිත නොකර සෘජුවම ඉන්දිය රුපියල් මගින් ගෙවීම් සිදු කළ හැකි වීම විශේෂත්වයකි.

2023 ජුලි මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරය අතරතුර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර භෞතිකව මුදල් භාවිතයෙන් තොර ඩිජිටල් ආර්ථිකයන් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡා පැවැත්වුණි.

එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දීය ඒකාබද්ධ ගෙවීම් ක්‍රියාවලිය හෙවත් UPI ක්‍රමවේදය ශ්‍රී ලංකාව සමඟ සක්‍රීය කිරීම අද සිට ක්‍රියාත්මකය.

මෙම UPI ගෙවීම් පද්ධතිය මගින් දැනටමත් ඕමානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නේපාලය සහ ප්‍රංශය යන රටවල් මූල්‍ය ගනුදෙනු සිදුකරන අතර ශ්‍රී ලංකාවට අමතරව මුරුසි රාජ්‍යයද අද ඊට එක්විය.

UPI ඉන්දීය ගෙවීම් ක්‍රියාවලිය, මෙරට ලංකා QR ගෙවීම් පද්ධතිය හා සම්බන්ධ කිරීමේ අවස්ථාව සඳහා වීඩීයෝ තාක්ෂණය ඔස්සේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ මුරුසි රාජ්‍යයේ අග්‍රාමාත්‍ය ප්‍රවීන්ද් ජග්නාත් යන මහත්වරුන් සම්බන්ධ වූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊට එක්වූයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ සිටය.

ඒ අනුව UPI ගෙවීම් ක්‍රියාවලිය ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් ආරම්භ කරමින් මෙරට සිටින ඉන්දියානු ජාතිකයෙක් සිය ජංගම දුරකථනය ඔස්සේ පළමු ගනුදෙනුව සිදුකළේය.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“වසර දහස් ගණනක් තිස්සේ අප රටවල් දෙක අතර ගෙවීම් සිදුව ඇති අතර අද අප සිදුකරන්නේ එය තාක්ෂණික වශයෙන් වැඩිදියුණු කිරීම පමණයි. ඉතින් දැන් මුදල් හුවමාරුවක් අවශ්‍ය නොවන අතර ඇත්තේ ලංකා QR සහ ඉන්දීය NIPL ජාලය පමණයි. තව තවත් ඉන්දීය සංචාරකයින් මෙරට සංචාරය කරන විට නියත වශයෙන්ම මෙය අප රටේ සෑම ගම්මානයක් දක්වාම ව්‍යාප්ත වේවි. ශ්‍රී ලංකාව සහ තමිල්නාඩුව අතරත් , ශ්‍රී ලංකාව සහ මුම්බායි අතර සිදුවන දැවැන්ත වෙළෙඳ ගනුදෙනු සැලකූවිට මෙය ඉතා වටිනා ප්‍රයෝජනවත් මෙවලමක් වේවි. දැන් එලෙස වෙළෙඳ ගනුදෙනුවල නිරතවන සංඛ්‍යාව හාර ලක්ෂයක් පමණ වන අතර ඔවුන්ට එය විශේෂයෙන්ම ප්‍රයෝජනවත්.”

එහිදී අදහස් දැක්වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා,

පසුගිය වසරේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී අප දෙරට අතර මූල්‍ය සම්බන්ධතාව ඉහළ නැංවීමට ප්‍රමුඛතාව ලබාදෙන දැක්මක් ඇතුළත් ගිවිසුම් පත්‍රිකාවක් අත්සන් කරනු ලැබුවා. අද එම ඉලක්කය සාක්ෂාත් කරගැනීමට හැකිවීම පිළිබඳව මම ඉතා සතුටු වෙනවා. ඩිජිටල් පරිවර්තන යුගයේදී දේශීය ආර්ථිකයන්හි කැපී පෙනෙන වෙනසක් අපේක්ෂා කළ හැකි වගේම එමගින් අප දෙරට අතර සංචාරක ව්‍යාපාරයේද ප්‍රවර්ධනය කරනු ඇති. ඉන්දීය සංචාරකයින් UPI ඉන්දියානු ගෙවීම් ක්‍රමවේදය සහිත ගමනාගන්තයන් වෙත ප්‍රමුඛත්වයක් ලබාදෙන බව මට විශ්වාසයි.”

මෙහිදී සිදුවන්නේ ඉන්දිය ගනුදෙනුකරුවකු මෙරටදී සිදුකරන ගනුදෙනු භෞතිකව මුදල් භාවිත නොකර UPI ගෙවීම් පද්ධතිය හරහා තම බැංකු ගිණුම්වලින් පියවීමය.

එමෙන්ම මෙම ගෙවීම් පද්ධතිය සමඟ සම්බන්ධ ශ්‍රී ලාංකිකයින්ටද ඒ ඔස්සේ ගනුදෙනු කළ හැකි වනු ඇත.

නිදසුනක් ලෙස ගතහොත් ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දිය සංචාරකයකුට මෙරට වෙළෙඳ ආයතන වෙත ගෙවීම් සිදුකිරීමේදීත් , මෙරට වෙළෙඳ අංශවලට ඉන්දියාව සමඟ සිදුකරන ගනුදෙනුවලදීත් භෞතිකව ඩොලර් හෝ මෙරට මුදල් භාවිත නොකර සිය ජංගම දුරකථනය මගින් ගිණුම්වලින් ගෙවීම් කළ හැකිය.

UPI ජංගම දුරකථන යෙදවුම තම ස්මාර්ට් ජංගම දුරකථනයට බාගත කරගැනීම පළමුව සිදුකළ යුතු වන අතර අනතුරුව සේවා සපයන ස්ථානයේ ඇති QR කේතයක් ස්කෑන් කිරීම මගින් තම බැංකු ගිණුම් ඔස්සේ පහසුවෙන් ගෙවීම එමගින් සිදුකළ හැකිය.

ශ්‍රී ලංකාවේ දේශීය බැංකු සහ මූල්‍ය ආයතන 20 ක් මේ පද්ධතියට ඔවුන්ගේ සහය ලබා දීම සඳහා දැනටමත් එකඟ වී ඇති අතර, වැඩි සංචාරක ආකර්ශනයක් සහිත ප්‍රදේශ වෙත මෙම සේවාව පුළුල් කිරීමටද සැලසුම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published.