ශිරාන් බාෂික්ගේ ගෝලයෙකු අත්අඩංගුවට

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ශිරාන් බාෂික් නැමැත්තාගේ ගෝලයකු හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (16) වැල්ලවත්ත, හැව්ලොක්සිටි නිවාස සංකීර්ණයේ රථ ගාලේ  සිදු කළ වැටලීමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ ඉදිරිපිට මාර්ගයේ රාජකාරියේ නියුතු නිලධාරියෙකු විසින් මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් නැවැත්වීමට සංඥා කර ඇති අතර, එහි දී එම මෝටර් රථය එම නිලධාරියාව අනතුරට ලක් කර හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ රථ වාහන අංගනය දෙසට නොනවත්වා ධාවනය කර තිබේ.

පසු ව එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු පළා යාමට තැත් කර ඇති අතර, එහි දී එක් සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුඩාබුද්ගමුව – අංගොඩ ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු සතු ව තිබී මෝටර් රථ 03ක යතුරු හමු ව ඇති අතර, පසුව එම මෝටර් රථ තුන පරීක්ෂා කිරීමේ දී හෙරොයින් ග්‍රෑම් 19ක් ජංගම දුරකථනයක්, ලැප්ටොප් පරිගණකයක්, රුපියල් 29,000ක්, ඩිරාම් 535ක් සහ ඩොලර් 161ක් සොයාගෙන ඇත.

Leave a Reply

Your email address will not be published.