කඩු පොලු රැගත් මැර පිරිසක් කොටහේන සුමනතිස්ස මාවතේ හෝටලයකට කඩා වැදි සිදුකළ පහරදීමකින් තිදෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි කොටහේන පොලිසිය කියයි.
එම පහර දීමෙන් හෝටලයේ හිමිකරුගේ සහෝදරයා , මුදල් අයකැමීවරයෙකු සහ වේටර්වරයෙක් තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.
ගැටුමට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙක් ඒ මොහොතේම අත්අඩංගුවට ගැනීමට ආමර් වීදිය පොලිස් මුරපොලේ නිලධාරීන් විසින් කටයුතු කර ඇත.
අත්අඩංගුවට ගත් එක් පුද්ගලයෙක් ඉකුත් පළමුවෙනි දින මෙම හෝටලයට පැමිණ ආහාර ගෙන පිටවීමේදී ඔහුගේ ජංගම දුරකථනය රැගෙන යාමට අමතකව ගොස් තිබූ බව පොලිසිය කියයි.
ජංගම දුරකථන රැගෙන යාම සඳහා හෝටලය වෙත නැවත පැමිණීමේදී එය නොතිබීම හේතුවෙන් හෝටල් හිමිකරුගෙන් සි සි ටි වි දර්ශන පරීක්ෂා කර බලන ලෙසට ඉල්ලීමක් කර ඇති අතර එහිදී බහින්බස්වීමක් සිදුවීමෙන් අනතුරුව ඔහු විසින් ඊයේ (3) අලුයම තවත් පිරිසක් රැගෙන විත් කඩු සහ පොලුවලින් මෙම පහරදීම සිදුකර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත