කොළඹ වරායේ බහාලුම් 600ක් හිර වෙලා

රේගු ත්‍යාග අරමුදල සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව සහ මහා භාණ්ඩාගාරය අතර තිබූ ආරවුල නැවත වරක් ආරම්භ වී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් කොළඹ වරායේ බහාලුම් 600කට අධික ප්‍රමාණයක් පෙරේදා(16) හිරවී තිබිණ.

රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා යටතේ තිබෙන රේගු ත්‍යාග අරමුදලේ ශේෂය මුදල් අමාත්‍යාංශයට පවරන බවට මහා භාණ්ඩාගාරය පසුගිය බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා රේගුවට දැනුම් දීමත් සමග ශ්‍රී ලංකා රේගුව සහ මහා භාණ්ඩාගාරය අතර තිබූ ආරවුල නැවත වරක් ආරම්භ වී ඇත.ත්‍යාග අරමුදලේ ඇති මුදල් අතිකාල ගෙවීම්වලට, පුහුණු වැඩසටහන්වලට,ජාවාරම් පිළිබඳ ලබා දෙන සාර්ථක තොරතුරුවලට සහ වැටලීම් සඳහා ත්‍යාග ලබා දීමට භාවිත කරන බැවින් එම අරමුදල රේගු අධ්‍යක්ෂකවරයා යටතේ දිගටම පැවැතිය යුතු බව රේගු නිලධාරීහු ඉල්ලා සිටියහ.

ත්‍යාග අරමුදල මුදල් අමාත්‍යංශය යටතට පවරා ගතහොත් එම අරමුදලෙන් ගෙවීම් සඳහා මුදල් ලබා ගැනීමේදී ප්‍රමාදයක් ඇති වනු ඇති බවත් එමගින් රේගු නිලධාරීන් සහ ජාවාරම් පිළිබඳ තොරතුරු ලබා දෙන්නන් අධෛර්යමත් වනු ඇති බවත් රේගු නිලධාරීහු එම ඉල්ලීම සාධාරණීකරණය කරමින් ප්‍රකාශ කළහ.නමුත් ආයතන 14 ක් යටතේ පවතින අරමුදල් මුදල් අමාත්‍යංශ පාලනය යටතට ගැනීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන ආධාර වැඩසටහනේ කැපවීමක් බවත් ඒ යටතේ රේගු ත්‍යාග අරමුදලද මුදල් අමාත්‍යංශ පාලනය යටතට ගැනීමට සිදුවන බවත් මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

රේගු ත්‍යාග අරමුදල යටතේ මිලියන 700 කට වැඩි මුදලක් තිබෙන බවත් ඉන් මිලියන 100 ගෙවීම් සඳහා අධ්‍යක්ෂක ජනරාල්වරයා යටතේ තබමින් ඉතිරිය මුදල් අමාත්‍යංශයට පවරා ගන්නා බවත් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවැසුවේය.

පසුගියදා නිකුත් කළ චෙක්පත් කිහිපයක් මුදල් නොමැතිකම හේතුවෙන් ආපසු ඒවා ඇති බවත් ඒ හේතුවෙන් රේගු ත්‍යාග අරමුදල රේගුව යටතේ තිබිය යුතු බවට ඉල්ලා සිටීමට තීරණය කළ බවත් රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජේ.ජී.ඒ සංජීව මහතා පැවැසුවේය.වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලෙස රේගු නිලධාරීන් අතිකාල කිරීමෙන් ඉවත් වූ බවත් රජය විසඳුමක් ලබා නොදුනහොත් දැඩි වෘත්තීය ක්‍රියා මාර්ග ගැනීමට සිදුවන බවත් ජේ.ජී.ඒ සංජීව මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published.