තවත් පාතාල කල්ලි සාමාජිකයින් පිරිසක් කොටුවෙති

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 9 දෙනෙක් සහ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

බස්නාහිර පළාත හා දකුණු පළාත මුලික කරගෙන ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා සිදුකරන විශේෂ යුක්තිය මෙහෙයුම යටතේ මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.

ඊයේ (01) ගාල්ල අපරාධ කොට්ටඨාසයේ නිලධාරීන් විසින් ගෝනපීනුවල පොලිස් වසමේ වැටලීමක් සිදුකර 32 හැවිරිදි අපරාධ කල්ලි සාමාජිකාවක් අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර, ගාල්ල අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින්ම බේරුවල වැටලීමක් සිදුකර 40 හැවිරිදි හිඟුරක්ගොඩ පදිංචි සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙක් අයිස් මිලිග්‍රෑම් 360ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර හික්කඩුව පොලිස් වසමේ තිරාණගම ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී 32 හැවිරිදි අපරාධ කල්ලි සාමාජිකයෙක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1 මිලිග්‍රෑම් 100 සමග අත්අඩංගුවට පත්ව ඇත.

කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වාද්දූව ප්‍රදේශයේ මැලෑගම ප්‍රදේශයේ වැටලීමක් සිදුකර 34 හැවිරිදි අපරාධ කල්ලි සාමාජිකයෙක් අත්අඩංගුවට ගත් අතර බස්නාහිර අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් මීගමුව හා ගණේමුල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීම්වලින් 56 හැවිරිදි සහ 40 හැවිරිදි අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් කෙසෙල්වත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී 50 හැවිරිදි කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් හා පිටකොටුවේ සිදුකළ වැටලීමක දී අයිස් මිලිග්‍රෑම් 820ක් සමග බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මීට අමතරව අපරාධවලට සහාය දැක්වූ සැකකරුවන් තිදෙනෙකු ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සැකකරුවන් ගණන 237කි.

Leave a Reply

Your email address will not be published.