මැයි දින සැමරුමට සුදානම – ආරක්ෂාවත් තර කෙරේ

වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් නම් කෙරුණු ජාත්‍යන්තර කම්කරු දිනය හෙටයි.

ඒ වෙනුවෙන් මෙරට දේශපාලන පක්ෂ හා විවිධ සංවිධාන මැයි දින සැමරුම් සහ පෙළපාළි රැසක් කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක සංවිධාන කර තිබේ.

කොළඹ නගරයේ පමණක් පැවැත්වෙන මැයි රැළි සහ පෙළපාළි ගණන 14කි.

හෙටට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් දේශපාලන පක්ෂ හා විවිධ සංවිධාන රට පුරා පවත්වන මැයි දින රැළි හා පෙළපාළි ගණන 40කි.

ඉන් 14ක්ම පැවැත්වෙන්නේ කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමිනි.

ඒ අනුව, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය යන පක්ෂ ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් කොළඹ නගරයේදී සිය මැයි දින රැළි, පෙළපාලි හා සැමරුම් උත්සවවලට එක්වනු ඇත.

එක්සත් ජාතික පක්ෂය මෙවර මැයි දින පෙළපාළියක් නොපවත්වන අතර සිය රැළිය පවත්වන්නේ, පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය ඉදිරිපිට නව ප්‍රදීපා මාවත පරිශ්‍රයේදීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද මෙවර මැයි දින පෙළපාලියක් නොපත්වන අතර බොරැල්ල කැම්බල් පිටියේදී සිය පක්ෂයේ රැළිය පැවැත්වීමට සැලසුම් කර තිබේ.

සමගි ජන බලවේගය පක්ෂය කොළඹ කොටුව ආශ්‍රීත මාර්ග කිහිපයකින් දිවෙන මැයි දින පෙළපාලියක් පවත්වා පහළ චැතම් වීදිය ප්‍රදේශයේදී සිය මැයි රැළිය පැවැත්වීමට නියමිතය.

ජාතික ජන බලවේගය පක්ෂය මෙවර සිය මැයි දින රැළිය ලිප්ටන් වටරවුමේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර හැව්ලොක් පාරෙන් ආරම්භ වන එම පක්ෂයේ පෙළපාළිය තුම්මුල්ල පසුකර කන්නංගර මාවත ඔස්සේ එම ස්ථානයට පැමිණීමට නියමිතයි.

එම පක්ෂය කොළඹදී පවත්වන මැයි සැමරුමට සමගාමීව යාපනය, අනුරාධපුර සහ මාතර දිස්ත්‍රික්කවලදී ද මැයි සැමරුම් සංවිධාන කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්ව සංවිධාන කරන මැයි දින රැළිය ගම්පහදී පැවැත්වීමට නියමිතය.

හෙටට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් කොළඹ නගරය ආශ්‍රිතව පැවැත්වෙන රැළි සහ පෙළපාලි හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක අතර ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 6,000කට අධික පිරිසක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහා යුද හමුදා භටපිරිස් යෙදවීමට නියමිත බව ද ඒ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.