ජනපති සටනට කාන්තා පුලුටක් නෑ

ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 39 දෙනකු ඉදිරිපත් වුවත් මෙවර ද කාන්තාවන් කිසිවකුත් ඉදිරිපත් නොවීම විශේෂත්වයකි.

කාන්තාවක ජනාධිපතිවරණයකට අවසන් වතාවට ඉදිරිපත් ඇත්තේ 1999 වර්ෂයේදීය. ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියයි.

ජනාධිපතිවරණයකට 2005 න් පසු කිසිදු අපේක්ෂිකාවක ඉදිරිපත් නොවීම ද විශේෂත්වයකි.

සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය 1988 ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ ශ්‍රීමා දිසානායක මහත්මීහු (දිවංගත ගාමිණී දිසානායක මහතාගේ බිරිඳ) 1994 වර්ෂයේ පැවැති ජනාධිපතිවරණයට ඉදිරිපත් වූහ.

රටේ ජනගහනයෙන් සියයට 52 ක් නියෝජනය කරන්නෝ කාන්තාවෝය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ද කාන්තාවන් සිටින්නේ සියයට 5.8කි.

කෙසේ වෙතත් ස්වාමීන් වහන්සේලා දෙනමක් මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්ව සිටිති.

අක්මීමන දයාරතන සහ බත්තරමුල්ලේ සීලරතන එම ස්වාමීන් වහන්සේලා දෙදෙනා වෙති.

මැතිවරණයට ද්‍රවිඩ ජාතික සහ මුස්ලිම් ජාතික අපේක්ෂකයෝ සිවු දෙනෙක් ද ඉදිරිපත්ව සිටිති. පී අරියනේත්‍රන්, මොහොමඩ් ඉල්ලයාස්, අබුබකර් ඉන්ෆෝස්, මයිලවාගනම් තිලකරාජා එම අපේක්ෂකයෝ සිවු දෙනා වෙති.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පස් දෙනෙක් සහ වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු පස් දෙනෙක් ඉදිරිපත්ව සිටිති.

සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, රොෂාන් රණසිංහ, විජයදාස රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ දැනට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු වෙති.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන්නේ සරත් කීර්තිරත්න, කේ.කේ පියදාස සිරිපාල අමරසිංහ, අනුර සිඩ්නි ජයරත්න සහ අනුරුද්ධ පොල්ගම්පලය.

Leave a Reply

Your email address will not be published.