ව්‍යවස්ථානුකූලව රට පාලනය කරනවා

තමා ජනාධිපති වූ පසු අලුත් පාර්ලිමේන්තුව රැස්වන තුරු ව්‍යවස්ථානුකූලව රට පාලනය කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඔහු එසේ ප්‍රකාශ කළේ පසුගියදා(04) ‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ ජා ඇළ පැවැති ජන රැලියට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.

කවුරු මොනවා කළත් ජාතික ජන බලවේගය අත්පත් කරගෙන තිබෙන ජයග්‍රහණය මොන ජගතකුටවත් ආපසු හරවන්න බැහැ. අද අපේ ඡන්ද ව්‍යාපාරය කරන එක පොදු ජනතාව භාරගෙන ඉවරයි. කලින් ඒ ගොල්ලෝ කිය කියා හිටියා.‘අයියෝ ජාතික ජන බලවේගය 3%යි නේ. ඒක කොහොමද 51% වෙන්නේ කියලා. සමහරු කියනවා ජාතික ජන බලවේගය දිනුවොත් 22දාට රටේ මහා කලබලයක් ඇති කරන්න සැලසුම් කර තිබෙනවා කියලා. සජබ තව කාන්තාවක් කියනවා අපි දිනුවොත් මාස 6ක්වත් ආණ්ඩුව දුවන්නේ නැහැ කියලා. දිනන්න තියා හිතන්නවත් බැහැ කියලා ඔවුන් කලින් කීවා. ඡන්ද ව්‍යාපාරය ආරම්භයේදී ඔවුන් කීවා, අපට දිනන්න බැහැ කියලා. මැදදී කියනවා දිනුවොත් කියලා. 22දාට කියයි ‘අපෝ අප්පච්චියේ ඒ ගොල්ලෝ දින්නේ’ කියලා. මේ ජයග්‍රහණය දැන් කාටවත් ආපසු හරවන්න බැහැ. ඒ නිසා ජයග්‍රහණයෙන් පස්සේ අපි යන මාවත ගැන අපි පොඩ්ඩක් කතා කරමු.

අපි ජයග්‍රහණය කළාට පස්සේ අපේ ජනවරමයි, පාර්ලිමේන්තුවේ ජනවරමයි අතර ක්ෂණික විකෘතියක් නිර්මාණය වෙනවා. පොහොට්ටුවට කතිරේ ගහලා නාලක ගොඩහේවාට මනාපෙ ගැහැව්වා. දැන් එයා සජිත් ළඟ. දැන් එතකොට 2020 ජනවරම කෝ. ඒක අහෝසියි. ඒ නිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ආරම්භයේදීම මේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. එතකොට කට්ටිය අහනවා එහෙම කරලා ඊළඟ පාර්ලිමේන්තුව පත්වන තුරු කැබිනට් මණ්ඩලයට මොකද වෙන්නේ කියලා. කලබල වෙන්න එපා. ව්‍යවස්ථානුකූලව අපි ඒ අන්තර් කාලයේ රට පාලනය කරනවා. කොහොමද? එකක් තිබෙනවා. අපි දිනුවම පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ධුරය හිස් වෙනවා. තව කෙනෙකුට එතැනට පත්වෙන්න පුළුවන්. හතර දෙනාගෙන් කැබිනට් මණ්ඩලය හදනවා. ඒක ව්‍යවස්ථාවට එකඟයි. එහෙම නැතිනම් ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාට පුළුවන් සියලුම විෂයන් තමන්ගේ යටතට ගන්න. එහෙමත් නැතිනම් භාරකාර ආණ්ඩුවක් හදන්නත් පුළුවන්. කළ හැකි ආකාර තුනක් තිබෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුව විසුරුවලා අලුත් පාර්ලිමේන්තුවක් පත්කර ගන්නා තුරු ව්‍යවස්ථානුකූලව අපි රට පාලනය කරනවා.

ඊළඟට පාර්ලිමේන්තු ඡන්දය එනවා. දැන් රටේ විශාල කතාබහක් තිබෙනවා මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ගෙන් විශාල ප්‍රමාණයක් ගෙදර යවන්න ඕනෑ කියලා. දැන් ඉන්න අයගෙන් 2/3ක් ඊළඟ පාර්ලිමේන්තුවේ නැති බව අපි දන්නවා. පාර්ලිමේන්තුව රැස්වෙලා ආයි කල් තිබ්බේ ඔක්තෝබර් මාසෙ පළමු වැනිදාට. ඒ අනුව අර 2/3 අයගෙ අන්තිම පාර්ලිමේන්තු දවස අද. ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයේදී විශාල බහුතරයක් ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට එනවා. ඊළඟට උපරිම 25ක් වූ ශක්තිමත් කැබිනට් මණ්ඩලයක් අපි හදනවා. ඊට විද්‍යාත්මකව විෂයයන් බෙදනවා. මෙතෙක් කල් අමාත්‍යාංශ බෙදුවේ රට ගොඩනඟන්න නොවෙයි. තම තමන්ට බෙදා ගන්නයි. අපි ඒ ඒ විෂයන්ට ගැළපෙන ඒකාබද්ධ කිරීම් කර අමාත්‍යාංශ බෙදනවා.

අපි මැති ඇමැතිවරුන්ට දෙන කාර් පර්මිට් අහෝසි කරනවා. ‘මරික්කාර් පර්මිට්’ද අහෝසි කරනවා. මේ සැරේ කතිරය හරියට ගහන්න. ගෙදර යැවිය යුතු අය ගෙදර යවන්න පුළුවන් එවිටයි. මේක හරි බලවත් කතිරයක්. අපි දීර්ඝ කාලයක් මේ දේශපාලනයේ යෙදිලා තිබෙනවා. දුෂ්කරතාවලට මුහුණ දී තිබෙනවා. අවලාදවලට ලක්වෙලා තිබෙනවා. මාස 06න් ගෙදර යන්න අපි ආණ්ඩු හදනවාද? නැහැ. මතක තියා ගන්න අපි මේ රටේ ස්ථාවරම ආණ්ඩුව හදනවා. අපේ ජයග්‍රහණය ස්ථිරයි. ඒ ස්ථිරභාවය දැනටම මේ රටේ ජනතාව තහවුරු කර ඉවරයි.

ප්‍රවීණ රංගන ශිල්පී මහින්ද පතිරගේ –

අතීතයත්, වර්තමානයත්, අනාගත වුවමනාවත් විසින් නිවැරදි වේදිකාවක් තෝරා ගන්න කියා අපට බලකර සිටියා. හොඳ තැනක් තෝරා ගන්න අපට ඕනෑ වුණා. අන්න ඒ නිසයි ජාතික ජන බලවේගයේ, මාලිමාවේ වේදිකාව අපි තෝරාගත්තේ. ජන නියමු කලාකරුවන් හැටියට අපි හැමෝම දැන් මේ වේදිකාවට එකතු වෙලා අවසානයි.

මේ එන සැප්තැම්බර් 08 වැනිදා කලාකරුවන්ගේ රැස්වීමක් පැවැත්වෙනවා. එදාට කලාව ගැන අපේ ප්‍රතිපත්තිය එළි දක්වනවා. එදාට ජා ඇළ ප්‍රදේශයේ කලාකරුවන්ටත් මම ආරාධනා කරනවා එයට සහභාගි වෙන්න කියලා. එළඹෙන 08 වැනිදා සවස 7.00ට කොළඹ තැප්‍රොබේන් හෝටලයට එන්න. කලාකරු ප්‍රඥප්තිය එළිදක්වන උත්සවයට සහභාගි වෙන්න. අප සමඟ අදහස් හුවමාරු කරගන්න. රට යන අත වැරදියි කියලා අපට කලාකාරයෝ හැටියට තේරුණා. අන්න ඒ නිසා තමයි අපි මාලිමාවේ වේදිකාව තෝරා ගත්තේ. මේ වන විට අපේ “ජන නියමු කලාකරුවෝ ” ව්‍යාපාරය වටා මේ රටේ කලාකරුවන්ගෙන් බහුතරයක් එකතු වී හමාරයි.

විශ්‍රාමික පොලිස් සාමූහිකයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති ජේ.එම්.කේ. මාර්ක් මහතා –

මම දීර්ඝ කාලයක් පොලිස් සේවයේ නියුතු වුණා. මා රටේ සෑම පළාතකම වගේ සේවය කළා. හොඳ සමාජ,දේශපාලන අත්දැකීම් සම්භාරයක් මට එහිදී ලබාගන්න පුළුවන් වුණා. අපේ ප්‍රමුඛ රාජකාරිය වුණේ මහජනතාව වෙනුවෙන් නීතිය හා සාමය රැකීම. අද නීතිය කඩාවැටෙන තත්ත්වයක් උදාවෙලා. ඒ පිළිබඳව ජනතාවගේ විශ්වාසය බිඳ වැටිලා. සෑම තැනම අපරාධ සිදුවෙනවා. මහ දවාලේ ස්වයංක්‍රීය අවි භාවිත කර අමු අමුවේ මිනිසුන් මරා දමනවා.

අද මේ ජන රැලියට සහභාගි වී සිටින අතිවිශාල ජන ගඟ දුටුවාම මට ඇති වෙන්නේ විශාල සතුටක්. මේකෙන් ප්‍රකාශ වෙන්නේ නව පරිවර්තනයකට ජනතාව හදවතින්ම සූදානම්ව සිටින බවයි. අර කන්න බොන්න දීලා ගෙන්නපු ජන කොටසක් නොවෙයි මෙතැන ඉන්නේ. ඉතාම සංවර ජනතාවක්. මීට වසර දහස් ගණනකට පෙර අපේ රටට කීවේ වැව් බැඳි රාජ්‍යය කියලා. වී ගොවිතැන අතින් බවභෝග අතින් රට සශ්‍රීක වුණා. හොඳ ජල කළමනාකරණයක් එදා අපේ රටේ තිබුණා. අපේ රටේ සමස්ත භූමියම ගත්තාම අපේ රට සතුවෙලා තිබෙන්නේ ඕනෑම බීජයකට පණ දෙන්න පුළුවන් භූමි ප්‍රමාණයක්. මේ තත්ත්වයට අද මේ පාලකයන් පත් කර තිබෙන්නේ එවැනි සශ්‍රීක රාජ්‍යයක්.

අද අපේ රටේ මහා මාර්ග පද්ධතිය ත්‍රාසජනක අත්දැකීම්වලින් පිරිලා. ගමනක් ගියොත් ගෙදර එනකම් ෂුවර් නැහැ. ආරෝග්‍ය ශාලාවල දෙන බෙහෙත් ගැන ජනතාවට තිබූ විශ්වාසය නැති වෙලා. දැන් අපට නිවැරදි දිසාව පෙන්වන මානයක් ලැබී තිබෙනවා. ඒ ලාංඡනය තමයි මාලිමාව. මේ 21 වැනිදාට මේ රටේ බහුතරයක් ජනතාවගේ කතිරය මාලිමාව ඉදිරියේ වදින බව අද මම සහතික කර ප්‍රකාශ කරනවා.

Leave a Reply

Your email address will not be published.