බන්ධනාගාර රෝහලේ ඉන්න ලොහාන්ට විශේෂ ආරක්ෂාවක්

අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහාතාට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට තීරණය කර තිබේ.

බන්ධානාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී දිසානායක මහතා පවසා සිටියේ, ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර භාර හිටපු රාජ්‍ය අමාත්‍යවරයා බැවින් අධිකරණ නියෝගයන්ට අනුව මෙම විශේෂ ආරක්ෂාවක් ලබාදී ඇති බවයි.

නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් පරිහරණය කිරීමේ සිද්ධියට ලොහාන් රත්වත්තේ මහතා මහනුවර – කටුගස්තොට ප්‍රදේශයේදී පසුගිය 31 වනදා මිරිහාන පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

පසුව ඔහු ගංගොඩවිල අතිරේක මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

මේ අතර අදාල සුඛෝපභෝගී මෝටර් රථය සම්බන්ධයෙන් රත්වත්තේ මහතාගේ බිරිඳටද මිරිහාන පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට මේ වනවිට දැනුම්දී තිබේ.

Leave a Reply

Your email address will not be published.