බිරියගේත්-පියාගේත් දෑත් සහ කට බැඳලාසීසීටීවී රෙකෝඩරයත් උස්සලා
ලග්ගල, දේවාලදෙණිය ප්‍රදේශයේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයකුගේ නිවෙසට ඇතුළු වූ නාඳුනන කල්ලියක් ව්‍යාපාරිකයාගේ බිරිය සහ ඔහුගේ පියාගේ දෑත් දෙපා ගැටගසා රුපියල් කෝටි හතක් පමණ වටිනා මැණික් සහ ස්වර්ණාභරණ කොල්ලකා ඔහුගේ මෝටර් රථයෙන්ම පලා ගොස් ඇතැයි ලග්ගල පොලීසිය කියයි.
පස්දෙනකුගෙන් යුත් මෙම මැර කල්ලිය පසුගිය 10 වැනිදා රාත්‍රියේ කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවෙසට පැන මෙම මංකොල්ලය සිදු කර ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.
මංකොල්ලකරුවන් පැහැර ගනු ලැබූ ව්‍යාපාරිකයාගේ මෝටර් රථය ගලේවෙල පොලිස් බලප්‍රදේශයේ තලකිරියාගම මහා මාර්ගය අසල දමා ගොස් තිබියදී ඊයේ (11) පෙරවරුවේ සොයා ගත් බව ද පොලීසිය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ ලග්ගල ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයකු වන වන සුසන්ත ප්‍රදීප් කුමාර නොහොත් ‘පොඩි රෝහණ’ නමැති ව්‍යාපාරිකයා බව පොලීසිය සඳහන් කරයි.
සිද්ධිය වූ දින රාත්‍රී 09 පසු වනවාත් සමඟ පැමිණිලිකාර ව්‍යාපාරිකයා නිවෙසට පැමිණ නිවෙස ඉදිරිපිට බුදු මැදුරේ බුදුන් වඳිමින් සිටියදී කොල්ලකරුවන් නිවෙස පිටුපස තාප්පයෙන් පැනවිත් ඇති බවත්, ඔවුන් මුහුණු ආවරණය කර පිස්තෝල සහිතව සිට ඇති බවත් පැමිණිල්ලේ සඳහන් වූ බව පොලීසිය කියයි.
බුදුන් වඳිමින් සිටි ව්‍යාපාරිකයාගේ හිසට පිස්තෝලය තබා ඔහුගේ දෑත් දෙපා සෙලෝ ටේප්වලින් අලවා ඔහු ඔසවාගෙන ගේ ඇතුළට රැගෙන ගොස් ඇති අතර, නිවෙස තුළ සිටි ඔහුගේ පියාගේ මෙන්ම බිරියගේ ද දෑත් දෙපා ගැටගැසූ බව ද පැමිණිල්ලේ දක්වා ඇතැයි පොලීසිය සඳහන් කරයි.
පසුව මංකොල්ලකරුවන් නිවෙසේ තිබූ මුදල්, රන් භාණ්ඩ, මැණික් ගල්, ජංගම දුරකථන මෙන්ම මෝටර් රථය ද රැගෙන ගිය බවත් ඔවුන් පිටව යන අවස්ථාවේදී ඔහුගේ පියාගේ පමණක් දෙපා ලිහා දමා ගොස් ඇති බවත් පැමිණිල්ලේ දැක්වූ බව පොලීසිය කියයි.
දඹුල්ල පොලීසියට අයත් නිල පොලිස් සුනඛ අංශයේ ‘ගියෝ’ නමැති පොලිස් නිල සුනඛයා අදාළ ස්ථානයට ගොස් කොල්ලයට පැමිණි අය දමා ගිය බවට සැක කෙරෙන පාවහන් යුගළයක් ඉව ඇල්ලීමට සැලැස්වූ අතර, ඔවුන් ගමන් ගත් මාර්ගය පිළිබඳව පරීක්ෂා කිරීම ඊයේ (11) පෙරවරුවේ සිදු කළේය.
ඒ අනුව අදාළ නිවාස ආසන්නයේ සිට මඳ දුරක් ඇවිද ගිය ‘ගියෝ’ පෙන්වූ ස්ථානයක් පිළිබඳව නිරීක්ෂණයට ලක් කළේය. ඒ අනුව එම ස්ථානය සැකකරුවන් ඇතැම් විට නැවතී සිටි ස්ථානයක් වන්නට ඇතැයි අනුමාන කළ හැකි බවද පොලීසිය කියයි.
පසුව කිලෝමීටර් තුන්කාලක් පමණ ප්‍රධාන මාර්ගය ඔස්සේ දිව ගොස් වෙනත් අතුරු මාර්ගයකින් මෙම නිල සුනඛයා නවතින බව ද පොලිසීය සඳහන් කළේය.
මෙම ව්‍යාපාරිකයාගේ බිරිය සහ ඔහුගේ පියා මේ වන විට දඹුල්ල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර ඇති බව ද පොලීසිය පවසයි.
මෙම නිවෙස වටේටම තාප්ප ගසා ආරක්ෂිත කැමරා පද්ධති සවිකොට ගේට්ටු දමා දැඩි රැකවරණයක් මත තිබුණු බවද පොලීසිය කියයි. එහෙත් කොල්ලකරුවන් නිවෙසේ ආරක්ෂක කැමරා පද්ධතියේ රෙකෝඩරය රැගෙන ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.