ජනපති, ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරමින් සිටී.

10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද (21) උදෑසන 10ට ආරම්භ වූ අතර කථානයකවරයා විසින් තාවකාලිකව පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවනු ලැබීය.

ඉන් අනතුරුව ජනාධිපතිවරයාව පාර්ලිමේන්තු සභාගර්භය වෙත උදෑසන 11.30 කැඳවාගෙන එනු ලැබූ අතර මේ වනවිට ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් සිටී.

සියලු ජනතාව තමා ඇතුළු ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තබා ලබාදුන් විශ්වාසයට ස්තූතිවන්ත වෙන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදී රට ලෙස ශ්‍රී ලංකාව තුළ තනි පක්ෂයක් රට පාලනය කිසිවිටෙකත් අපේක්ෂා නොකරන බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

එනිසා සියලු පුරවැසියන්ගේ උවමනාවන් ඉටුකිරීමට බැඳී සිටින බවත් ඒ සඳහා වග වෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනතාවගේ වගකීම මේ වනවිට ඉටුකර අවසන් බවත් මේ මොහොතේ සිට ජනාධිපතිවරයා වශයෙන් තමා ජනතාවගේ වගකීම සම්පූර්ණයෙන් භාරගන්නා බවත් මැතිවරණ ව්‍යාපාරයෙන් එක් අරමුණක් වෙනුවෙන් අපි ගොඩනැගුණු බව පසක් කර අවසන් බව ද පැවසු ජනාධිපතිවරයා යළි අපේ රටේ ජාතිවාදී දේශපාලනයට ඉඩක් නොමැති බව ද පැවසීය.

එමෙන්ම කවර ආකාරයේ හෝ ආගමික අන්තවාදයකට හිස එසවීමට ඉඩක් නොමැති බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

“හැබැයි කිසිවෙකුට අපේ රටේ යළි දේශපාලන බලය අත්පත් කරගැනීම වෙනුවෙන් ජාතීවාදී, ආගම්වාදී, සටන්පාඨ ගොඩනැගීමට ඉඩ නොදෙන බව මම ඔබට සහතික කරනවා…”

සියලුදෙනාම මහජන නියෝජිතයින් නම් පාර්ලිමේන්තුව තුළ අදහස් දක්වන සියල්ල ජනතාව දැනගත යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ශක්තිමත් රාජ්‍ය සේවයකින් තොරව කිසිවිටෙකත් රටට ඉදිරියට යා නොහැකි බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

“අපි විශ්වාස කරනවා කාර්යක්ෂම රාජ්‍ය සේවයක්, මහජනයාගේ හිත සුව පිණිස වැඩ කරන රාජ්‍ය සේවයක් මේ රටේ යළි ස්ථාපිත කළ යුතුයි. ඒ සඳහා මා හිතනවා රාජ්‍ය සේවයකයින් තුළින්ම ප්‍රබල ජනවරමක් අපිට ලබාදී තිබෙනවා. ඒ පිළිබඳ අපි අවධානය යොමු කර තිබෙනවා.”

සෑම පුරවැසියෙක්ම තමන්ගේ ආගම, සංස්කෘතිය හා භාෂාව අනුව හුදකලා විය යුතු නැති බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

“දේශපාලනික වෙනස්කම් විය හැකියි. නිදහස කියන එක හැමකෙනාටම පොදු දෙයක්. ඒ නිසා හැමකෙනාටම බියෙන් සැකෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් රාජ්‍යයක් ගොඩනැගීම අපගේ වගකීමක්. එය අපි ඉටුකරන බව අපි සහතික කරනවා. “

එමෙන්ම නීතියේ විධානය ආධිපත්‍ය රැකිය යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

“ජනතාවට නීතිය ක්‍රියාත්මක වෙන බවට හැඟීමක් ඇති විය යුතුයි. පසුගිය කාලයේ පුරා රටේ සිදුව ඇත්තේ නීතිය ගැන ජනතා විශ්වාසය බිඳ වැටිලා. පොදු ජනතාව තුළ නීතිය හා විධානයේ ආධිපත්‍ය ගැන තිබෙන විශ්වාසය බිඳ වැටිලා තියෙනවා. නීතිය හා විධාන ආධිපත්‍ය ශක්තිමත් කිරීමකින් තොරව යහපත් රාජ්‍යයක් ගොඩනැගීමට අපිට කිසිසේත්ම හැකියාවක් ලැබෙන්නේ නෑ. කිසි කෙනෙක් මින් පසුව නීතියට උඩින් නෑ. හැමදෙනාම නීතියට යටත්විය යුතුයි. නීතිය ගැන ජනතාවගේ බිඳ වැටුණ විශ්වාසය යළි ඇති විය යුතුයි.”

එමෙන්ම පසුගිය කාලයේ ආන්දෝලනයට ලක්වූ අපරාධයන් ගැන යළි විමර්ශනයට ලක්කර වින්දිතයින්ට සාධාරණත්වයත් අපරාධකරුවන්ට දඬුවම් ලබාදිය යුතු බව ද ජනාධිපතිවරයා පැවසීය.

“මම ඔබට සහතිකයක් දෙනවා. ආන්දෝලනයට තුඩුදුන් අපරාධයන්, එහි වගඋත්තරකරුවන් හෙළිදරව් කරන බවටත්, ඔවුන්ව නීතිය හමුවට ගෙන යන බවටත්, වින්දිතයින්ට සාධාරණය ඉටු කරන බවටත් අපි ඔබට සහතිකයක් දෙනවා. අපිට අවශ්‍යයි නීතිය, යුක්තිය ඉඩවන රාජ්‍යයක්. “

Leave a Reply

Your email address will not be published.