කෝටි හතේ කොල්ලයේ කරුණු රැසක් හෙළිවෙයි

අවි පෙන්වා බියගන්වා පුද්ගල කණ්ඩායමක් විසින් පසුගියදා කොල්ලකන ලද රුපියල් කෝටි 07කට ආසන්න වටිනාකමකින් යුත් මැණික්, රන් භාණ්ඩ සහ මුදල් සොයාගැනීමට ලග්ගල පොලීසියට අද (01) හැකිවිය.

මෙම කොල්ලකෑමට සම්බන්ධ පුද්ගලයන් 9 දෙනෙකු පෙරේදා (29) අත්අඩංගුවට ගත් අතර, ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම් වලදී කරුණු රැසක් අනාවරණය කරගැනීමට පොලීසියට හැකිව ඇත.

ඒ අනුව ඔවුන් විසින් සොරාගන්නා ලද මැණික් ගල් දෙකක් ලක්ෂ 78කට අලෙවිකර තිබියදී සොයාගෙන ඇති අතර, කොල්ලය සඳහා යොදාගත් වෑන් රථයද පොලිස් භාරයට ගෙන තිබේ.

එමෙන්ම පවුම් 7ක රත්‍රන් සොයාගැනීමට හැකිව ඇති අතර, කොල්ලකන ලද මැණික් ගලක් කෑලි 7කට කපා ඇති බවත් පොලීසිය පවසයි.

මීට අමතරව පැහැරගත් ලක්ෂ 23ක මුදලක්ද සොයාගෙන ඇත.

මෙම සැකකරුවන්ගෙන් සිදුකල ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් තවත් අපරාධ රැසකට සම්බන්ධ වූවන් බව හෙළි වී තිබේ.

ඔවුන් විසින් පොතුහැර ප්‍රදේශයේ නිවසකින් පැහැරගත් කිලෝ 60-70 අතර බරකින් යුත් දඹරන් බවට සැකකරන බුද්ධ ප්‍රතිමාවක්ද පොලීසියට සොයාගැනීමට හැකිව ඇත.

මෙම කොල්ලකරුවන්ට විරුද්ධව දිවයිනේ විවිධ ප්‍රදේශවල අපරාධ චෝදනා රැසක් තිබෙන බවද පොලීසිය පවසයි.

ලග්ගල පොලීසිය අනාවරණය කරගත් කරුණු අනුව මෙම කොල්ලකෑම සිදුකර ඇත්තේ, චීවරධාරයෙකු ඇතුළුව පුද්ගලයන් 12 දෙනෙකු විසින්ය.

ඔවුන්ගෙන් 11 දෙනෙකු මේ වනවිට සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් අයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇත.

අත්අඩංගුවට පත් චීවරධාරියා මෙම කොල්ලයේ මහමොළකරු වන අතර, ඔහුගේ සහෝදරයෙකුද අත්අඩංගුවට පත්වූවන් අතර සිටින බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මාවතගම, පොල්පිතිගම, දඹුල්ල, කුරුණෑගල,  විල්ගමුව, බේරුවල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.

සැකකරුවන් නාවුල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව තිබේ.

මෙම කොල්ලකෑම නොවැම්බර් මස 10වනදා ලග්ගල පොලිස් වසමේදී සිදුවූ කොල්ලකෑමක් බව පොලීසිය මීට පෙර කරුණු අනාවරණය කර තිබුණි.

ඔවුන්ගෙන් කිහිප දෙනෙකු මාවතගම හා පොල්පිතිගම පොලිස් වසම්වලදී අත්අඩංගුවට ගනු ලැබීය.

Leave a Reply

Your email address will not be published.